ශ්‍රී ලාංකිකයින් බහුතරයකට උපතින් හිමිවන්නේ දුඹුරු හෝ ළා දුඹුරු පැහැයට හුරු සමකි. යම් පුද්ගලයෙකුගේ සමේ වර්ණය ජානගත බලපෑම්, සංස්කෘතික හෝ පාරිසරික බලපෑම් ආදී හේතූන් මත තරමක් වෙනස් විය හැකිය.ඇතැම් පුද්ගලයින් සිය සමෙහි වර්ණය පිළිබඳ සෑහීමකට පත් නොවී සම පැහැපත් කරගැනීම සඳහා Homemade Cream ඇතුළු වෙළඳපොළ තුළ ඇති විවිධාකාර වූ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය සදහා යොමු වීමේ ප්‍රවණතාවයක් තිබේ. මෙකී තත්ත්වය හොඳින් හඳුනාගත් මෙරට ඇතැම් පාර්ශ්වයන් අද වන විට මෙය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කොටගෙන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනය සඳහා යොමුව තිබේ. ඒ සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් කවරේද යන්න ගැටලුසහගතය.
මෙම නිෂ්පාදකයින් බොහෝ විට ප්‍රසිද්ධ නළු නිළියන් වන අතර ඇතැමුන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වේ.මෙකී ආලේපන බොහෝමයක් නිවස තුළ නිෂ්පාදනය කරනු ලබන ඒවා වන අතර, ඔවුන් සිය Tiktok, Facebook වැනි සමාජ මාධ්‍ය හරහා මෙම නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කරනු ලැබේ. ඒ සඳහා මෙහිදී ඔවුන් ප්‍රවර්ධන උපක්‍රම ලෙස බොහෝවිට භාවිත කරනු ලබන්නේ ෆිල්ටර් දැමූ තම සුදෝ සුදු මුහුණත සහ පාරිභෝගික ප්‍රතිචාර ලෙස හුවා දක්වන විවරණ උපක්‍රමයන්ය.
නීරෝගී, පැහැපත් සමක් ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙකු රුචිකත්වයක් දැක්වීමේ අරුමයක් නැත. නමුත්, මෙහි ඇති මූලික ගැටලුව වන්නේ ඒවායේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය කොතරම්ද යන්නයි. මෙම ආලේපන තුළ සමට අහිතකර රසායනික ද්‍රව්‍ය එනම් රසදිය, හයිඩ්‍රොක්විනොන්, ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් ආදිය සහ විවිධ විරංජන කාරක අන්තර්ගතව ඇත. මේවා තුළින් සමේ ස්වාභාවික තෙතමනය අඩුවී දිලීර තත්ත්වයන් වර්ධනය වීම, පිළිකා තත්ත්වයන් ඇති වීම, කුෂ්ඨ රෝග ඇති වීම, දීර්ඝකාලීනව භාවිතය තුළින් වකුගඩු අක්‍රමවත් වීම, අක්මාවට හානි සිදුවීම ආදී අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් උද්ගත විය හැක. නිතිපතා වර්ධනය වන මෙම ප්‍රවණතාවය නව සමාජ රැල්ලකට මඟ පෙන්නුම්කර තිබේ. සමේ වර්ණය වෙනස් කිරීමට මෙම නිෂ්පාදන භාවිතය තුළ සෞඛ්‍යාරක්ෂාව සහ මේවායේ නීත්‍යනුකූලත්වය පිළිබඳ ප්‍රබල විවේචන පවතින බව සුදු වීමේ උන්මාදයෙන් පෙළෙන්නන් වටහාගත යුතු සත්‍යයකි. මෙය අද වන විට එක්තරා ආකාරයේ මාෆියාවක් බවට පත්ව ඇති අතර මෙය පාලනය සඳහා රජය මෙන්ම සබුද්ධික පාඨක ඔබද කටයුතු කරන්නේ නම් වඩාත් අගනේය.
ඉන්දීවරි පෙරේරා
බේරුවල