දිමුත් කරුණාරත්න
උපන් දිනය – 1988 අප්‍රේල් 21
විදුහල – කොළඹ සාන්ත
ජෝසප් විද්‍යාලය
ටෙස්ට් තරග – 99
ටෙස්ට් ඉනිම් – 189
නොදැවීම් – 7
ලකුණු – 7172
වැඩිම – 244
සාමාන්‍ය – 39.40
මුහුණදුන් පන්දු – 13913
ශතක – 16
අර්ධ ශතක – 39
බිංදුවට දැවීම් – 13
හතරේ පහර – 760
හයේ පහර – 12
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමඟ හෙට (6) ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගය ද වේ. ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ ලිඛිතව දැනුම් දී තිබේ. ඔහු සියලු මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිය පවුල සමඟ විදෙස්ගත වීමට අදහස් කර ඇත.
දිමුත් කරුණාරත්න වසර 2012 නොවැම්බර් 17 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සිය වැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයේදී සිදුවීම දුර්ලභ සිද්ධියකි.
දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරණයේ බල කණුවක් ලෙස කටයුතු කළ 36 හැවිරිදි දිමුත් කරුණාරත්න මෑතක පැවති තරගවලදී ලකුණු ලබා ගැනීමට අරගල කරමින් සිටි අතර, තවදුරටත් එලෙස අසමත් වෙමින් සිටිනවාට වඩා ක්‍රීඩාවෙන් ඉවත් වීම සුදුසු බවට තීරණය කළේය. දිමුත්ගේ අවසන් ටෙස්ට් ඉනිම් 25කදී ශතක වාර්තා නොවූ අතර, අර්ධ ශතක 5කට සීමා විය.
එහෙත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ දිමුත් ටෙස්ට් තරග 99කදී ලකුණු 7172ක් ලබා ඇති අතර, වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සිව් වැනි ස්ථානයේ පසුවේ. 36 හැවිරිදි දිමුත් කරුණාරත්න ලොව පුරා සෑම ක්‍රිකට් පිටියක ක්‍රීඩා කොට ඇති අතර, ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු ලබා ඇත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 244 වේ. දිමුත් මෙතෙක් වාර්තා කොට ඇති ටෙස්ට් ශතක 16න් 6ක්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වාර්තා කර ඇති අතර, පල්ලෙකැලේදී ද්විත්ව ශතකයක් හා ශතක 2ක් රැස් කළේය.
2019 වසරේ පෙබරවාරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගත් දිමුත් කරුණාරත්න, ටෙස්ට් තරග 29කට නායකත්වය ලබාදී, ඉන් තරග 12ක් ජයග්‍රහණය කරා මෙහෙයවා නායකත්වයෙන් ඉවත් විය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උලෙළ අතුරින් විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දරන කාලයේදී දිමුත් කරුණාරත්න නිර්දේශ විය. එමෙන්ම මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අයිසීසී ටෙස්ට් කණ්ඩායමට දිමුත් ඇතුළත් විය. ඔහු අයිසීසී ටෙස්ට් කණ්ඩායමට නම් කරන ලද තුන්වන අවස්ථාව මෙය වූ අතර මීට පෙර, 2018 සහ 2021 දී දිමුත් කරුණාරත්න එම ලෝක ටෙස්ට් කණ්ඩායමට නම් විය. මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරට පසුව, තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයකු වූ තුන්වන ශ්‍රී ලාංකිකයා බවට දිමුත් පත්විය.
දිමුත් 100 වැනි හා අවසන් ටෙස්ට් තරගය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ සමරු සිහිවටනයක් හා මිලියන ගණනක මුදල් තිළිණයක් ප්‍රදානය කිරීමට සැලසුම් කොට ඇත. මේ විශේෂ ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම උදෙසා දිමුත්ගේ ආරාධනාවෙන් පැමිණෙන අමුත්තන්ට, ක්‍රීඩකයන් වෙනුවෙන් ඇති ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ විශේෂ ඉඩකඩක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබාදී ඇත.
ප්‍රින්ස් ගුණසේකර