Home » ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර් ගාල්ලේදී ‘ඔන්ලයින්’ ක්‍රමයට නෙරපයි
ඔස්ට්‍රේලියා ගුවන්විදුලි ආයතනය

ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර් ගාල්ලේදී ‘ඔන්ලයින්’ ක්‍රමයට නෙරපයි

by sachintha
February 5, 2025 2:00 am 0 comment

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය සහ මිනිස් සංහාර පිළිබඳ සටහනක් ‘ට්විටර්’ මඟින් ප්‍රචාරය කිරීම වරදක් ලෙස සලකා ගාල්ලට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව ‘ඔන්ලයින්’ ක්‍රමයට අහිමි කිරීමට ඔහු සේවය කළ ‘සෙන්’ ගුවන්විදුලි ආයතනය තීරණය කරයි.

සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර හෙට ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේ විස්තර ප්‍රචාරයට සූදානමින් සිටි පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව අහිමි කළ බව එම ආයතනය ඊයේ ඊමේල් මඟින් දැනුම් දී ඇත.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍යවල පළ කළ සටහනක් මෙයට හේතුවී ඇති අතර, ‘සෙන්’ ගුවන්විදුලි බලධාරීන් විසින් ලාලෝර්ට දන්වන ලද්දේ ඔහු තවදුරටත් ඔවුන්ගේ විචාර කණ්ඩායමේ කොටස්කරුවකු නොවන බවයි. ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව වූයේ ලාලෝර්ගේ ට්විටර් පණිවිඩයෙන් යුදෙව් විරෝධය පතුරුවන බවයි.

කෙසේ වුවද ලාලෝර් ඉවත් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ඔහුට සහාය පළ කර තිබේ. පලස්තීන අයිතිවාසිකම් පිළිබඳ සැමවිටම හඬ නඟන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කවාජා පවසන්නේ ක්‍රිකට් මාධ්‍යවේදී ලාලෝර්ට අසාධාරණයක් සිදුව ඇති බවය.

පාකිස්තාන සම්භවයක් ඇති උස්මාන් කවාජා ඉන්ස්ටග්‍රෑම් හි ලාලෝර්ට සහාය දක්වමින් සටහනක් තබා ඇති අතර,‘ගාසාවේ ජනතාව සමඟ සිටීම යනු යුදෙව් විරෝධයක් නොවේ. මෙය ඔස්ට්‍රේලියාවේ සිටින අපගේ යුදෙව් සහෝදර සහෝදරියන්ට එරෙහි ප්‍රහාරයක් ද නොවේ. මෙය ඊශ්‍රායල රජයට සහ එහි පිළිකුල් සහගත හැසිරීමට එරෙහි විරෝධතාවක් පමණි. මෙය යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයකි’ යනුවෙන් කවාජා සටහන් කළේය.

‘සෙන්’ ගුවන්විදුලි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රේග් හචින්සන් පවසන්නේ මාධ්‍යවේදී ලාලෝර්ගේ පණිවිඩය මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම නැවත බෙදා ගැනීමක් සිදුව ඇති බවත් මෙල්බර්න්හි වෙසෙන යුදෙව් ජනතාවට එයින් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන බවය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT