කටුදෙණිය ජනමාධ්‍යකරුවකු ලෙස අඩුවෙන් ලියන්නේ නැත. වැඩියෙන් ලියන්නේ ද නැත. අතිශයෝක්තියට නැඟීම ඔහු ළඟ කිසිකලෙක දක්නට ලැබුණේ නැත. ප්‍රසාදය පළ කරනු වස් ඇතැම් කරුණු අතිශයෝක්තියට නැඟීම හා වර්ණනා කිරීම මාධ්‍යකරුවන්ගේ සිරිත වුව චන්ද්‍රසිරි කටුදෙණිය එම මාර්ගයෙන් මුළුමනින්ම බැහැර විය.
2010 වන තෙක්ම ඔහුගේ නම අපේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පැවතිණි. අවසන් කාලය තුළ ඔහු පොත් කිහිපයක් ලියා තැබීය. ඔහු ඒ වනවිට ක්‍රියාකාරී ජනමාධ්‍යකරුවකු නොවූ බැවින් එම පොත් කිහිපයට ප්‍රමාණවත් ප්‍රචාරයක් නොලැබිණි. ඔහුගේ ජවසම්පන්න මාධ්‍ය මෙහෙවර පැවැතියේ 1980 ගණන්වලය. 1986 පටන් යැයි කීම වඩා නිවැරැදිය. එවකට ඔහු සිය නිර්මාණාත්මක කාර්යභාරය ඉටු කළේ දිවයින ඉරිදා සංග්‍රහය සඳහාය. දිවයින ඉරිදා සංග්‍රහයෙහි හොඳම විශේෂාංග රචකයන් කිහිපදෙනා අතර ඔහුගේ නම ද පැවතිණි.
චන්ද්‍රසිරි කටුදෙණිය මුලින්ම සිය ලේඛන කලාව ආරම්භ කරන්නේ කවියකු හැටියටය. 1981 දී ඔහු දවස පත්තරයට සම්බන්ධ වෙමින් වෘත්තීය වාර්තාකරුවකු හැටියට පත්විය. මාණ්ඩලික වාර්තාකරුවකු වූ කටුදෙණිය විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිය රාජකාරිය ඉටු කළේය. පරිසරය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සංස්කෘතිය යනුවෙන් වෙනසක් නොවීය. තොරතුරු සම්පාදනයට සන්නිවේදනයට, සංවාදයට, නව යෝජනා ඉදිරිපත් කිරීමට මෙන්ම විවේචනයට ද කටුදෙණිය නොබියව ඉදිරිපත් විය. ඔහු ඊට අවශ්‍ය න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා තිබිණි. කටුදෙණිය කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ උපාධිධරයෙකි. පශ්චාද් උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරතවීමේ දැඩි වුවමනාවක් කටුදෙණියට තිබුණේ වුව ඔහුගේ කාර්යබහුලත්වය නිසාම එය ඉටු නොවීය.
ඔහුගේ ලේඛනය නිරීක්ෂණය කරන කල විශේෂතා කිහිපයක් හඳුනාගත හැකිය.
(I) විශ්වසනීය බව
(II) සංක්ෂිප්ත බව
(III) අපක්ෂපාතී බව
(IV) විවේචනාත්මක බව
කටුදෙණිය ජනමාධ්‍යකරුවකු ලෙස අඩුවෙන් ලියන්නේ නැත. වැඩියෙන් ලියන්නේ ද නැත. අතිශයෝක්තියට නැඟීම ඔහු ළඟ කිසිකලෙක දක්නට ලැබුණේ නැත. ඇතැම් සිදුවීම් වාර්තාකරණයේ දී අනුග්‍රාහකයාට හෝ එම සමාගම්වල හෝ සිය ප්‍රසාදය පළ කරනු වස් ඇතැම් කරුණු අතිශයෝක්තියට නැඟීම හා වර්ණනා කිරීම මාධ්‍යකරුවන්ගේ සිරිත වුව චන්ද්‍රසිරි කටුදෙණිය එම මාර්ගයෙන් මුළුමනින්ම බැහැර විය. එලෙසම නිර්දය ලෙස පහරදීමේ ක්‍රමයක්ද ඔහු ළඟ තිබුණෙ නැත. කුමක් වුව කිවයුත්ත ඉලක්කයටම කියමින් ජනතාවගේ පැත්තේ හිටගත් කටුදෙණිය විවේචනයට ප්‍රකට විය.
අප මුලින් සඳහන් කළ පරිදි චන්ද්‍රසිරි කටුදෙණියගේ හොඳම කාලය 1980 ගණන් විය. එවකට ඔහු දිවයින ඉරිදා සංග්‍රහයෙහි විශේෂාංග රචකයකු ලෙස කටයුතු කළේය. 1987 ගම් උදාව සංවර්ධන වැඩසටහන හා එම සැණකෙළිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රචාරක වැඩසටහනකට එක්වීමට අපට සිදුවී තිබිණි. මම එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක අංශයේ සේවය කළෙමි.
අපි සතියක් පුරාවට සංවර්ධන සංසිද්ධි නිරීක්ෂණය කළෙමු. නිලධාරීන් හා සමාජ ක්‍රියාධරයන්, ප්‍රභූන්, දේශපාලකයන් සම්මුඛ වෙමින් සංවාද පැවැත්වූයෙමු. අපගේ කණ්ඩායමට දහයක පමණ පිරිසක් ඇතුළත් වූහ. අමර පී. වීරසිංහ (දිනමිණ) චන්ද්‍රසිරි කටුදෙණිය (දිවයින ඉරිදා) සුනිල් කළුබෝවිල (දිවයින දිනපතා) වදාකඩ නවරත්න (ලංකාදීප) තෝමස් (ජනතා පත්‍රය) දයා පැස්කුවෙල් (ගුවන් විදුලිය) ඒ අය අතර වූහ. ඇතැම් විශේෂාංග ලේඛකයන් හා වාර්තාකරුවන් කුඩා කැමරාවක් භාවිත කළ අතර සමහරු ඡායාරූප ශිල්පියකුගේ සේවය ලබාගත්හ. කටුදෙණිය ළඟ කුඩා කැමරාවක් තිබුණු බව මට මතකය.
හිමිදිරි පාන්දරම වැඩට බසින අපි කළුවර වැටුණු පසු රාජකාරි නිමාවට පත්කොට ඇඟපත සෝදාගෙන උණුසුම් පානයක් වෙත යොමු වෙන්නෙමු. ඉනික්බිති රාත්‍රී භෝජනය තෙක්ම අඛණ්ඩව පවතින්නේ සංවාදයයි. ඇතැම් රාත්‍රියක සංවාදය කවි මඩුවක් බවට පත්වෙයි. අමර පී වීරසිංහ, චන්ද්‍රසිරි කටුදෙණිය හා වදාකඩ නවරත්න හිටිවන කවි ප්‍රබන්ධයට දක්ෂයෝ වූහ. ඔවුහු භාෂාව නිසි ලෙස ගළපමින් එළිසමය හා රිද්මය රකිමින් අර්ථවත් කවි ගායනා කළහ. එහෙත් තෝමස් පෙරේරාට හා සුනිල් කළුබෝවිලට කවිත්වයක් නොතිබිණි. එහෙත් ඒ දෙදෙනා පරාජය භාර නොගත්හ. අභියෝගයට මුහුණ දුන් දෙදෙනා අමු වාක්‍ය කවි බවට හරවමින් අර තිදෙනාට පහර දුන්හ. එය හරි අපූරු අවස්ථාවක් විය.
කුමන වාද – විවාද තර්ක – විතර්ක පැවැතිය ද කිසිවකු අතර තරහක් නැත. සුළු මොහොතකින් ඔවුහු ගජ මිතුරෝ වෙති.
චන්ද්‍රසිරි කටුදෙණියගේ උපන්බිම වූයේ කන්ද උඩරට මාතලේය. පරම්පරාවෙන්ම ඔහු සටන්කාමීය, නිර්භීතය, ස්වාධීනය. එය පත්කර කලාව සඳහා හොඳින්ම ගැළපිණි. පසුකළෙක විවිධ දේශපාලන බලපෑම් නිසා ඔහුට පත්තර කලාවත් එපා වී තිබිණි. පසුකලෙක ඔහු ඉරිදා දිවයිනෙන් ඉවත් වී ඉරිදා පෙරමුණ නම් පුවත්පෙතහි නියෝජ්‍ය කතෘකමක් භාර ගත්තේය. ඉන්පසු හිටිහැටියේම කටුදෙණිය නිහඬ විය. පසුව දැනගන්නට ලැබුණේ, කටුදෙණිය අමෙරිකාවේ පදිංචියට ගොස් ඇති බවය.
දරු දෙදෙනෙකුගේ පියකු වූ කටුදෙණියට ආදරණීය කුටුම්බයක් තිබිණි. ඒ අනුව ඔහු අමෙරිකාවේ සතුටින් කල් යවන්නට ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රෙයහි වැඩි දෙනකු ඔහු හැඳින්වූයේ “කටූ” යන ආදර නාමයෙන්ය. ඔහුගේ සමීපතමයන්ට චන්ද්‍රසිරි කටුදෙණිය “කට්ටා” නම් විය. කුමන නමකින් හැඳින්වුව චන්ද්‍රසිරි කටුදෙණිය යනු සුන්දර එහෙත් නිර්භය පත්‍රකලාවේදියෙකි. ඔහුට සුබ ගමන් යැයි කියා මේ සටහන නිමා කරන්නෙමි.
රන්ජන් අමරරත්න