Home » වැව්බැඳි රටේ රස පිරුණු කතාබහ දිග හැරි කේ.බී.මානෑව

වැව්බැඳි රටේ රස පිරුණු කතාබහ දිග හැරි කේ.බී.මානෑව

by sachintha
February 6, 2025 1:57 am 0 comment

නුවර කලාවියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු කලාගම් කෝරළේ මානෑව නම් සොඳුරු ගම්පියසේ වාසය කළ රාජකරුණා මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා දම්පතීන්ට දාව ජන්මලාභ ලැබූ කිරිබණ්ඩා මානෑව හෙවත් කේ.බී. මානෑව වත්මනෙහි ප්‍රචලිතව ඇත්තේ ජන බස, ජන වහර සහ ජනශ්‍රැතිය ඇතුළු අස්පර්ශනීය සංස්කෘතික උරුමය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කරන ජනශ්‍රැති විශේෂඥයෙතු ලෙසය.

උපතින්ම ගැමියෙකු වූ කේ.බී. මානෑවයන් මූලික අධ්‍යාපනය ලබන්නේ කැකිරාව මහා විද්‍යාලයෙන්ය. උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය හැදෑරූ මානෑවයන් ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස රාජකාරි ආරම්භ කළේය. අනතුරුව රජයේ විද්‍යා පීඨයට ඇතුළත් වන මානෑවයන් එහි ගුරු පුහුණුවෙන් අනතුරුව උප ගුරුවරයෙකු වශයෙන් රාජකාරි දිවිසැරිය ආරම්භ කරන්නේය. තමා උගත් කැකිරාව මහා විද්‍යාලයේ ද රජරට පාසල් කිහිපයක ද උපගුරුවරයකු ලෙස සේවය කළේය. ඉනික්බිති ගුරු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර විශ්‍රාම ගත්තේය.

ශ්‍රී ලාංකික ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳ අවධානයට ලක් කරන විට එහි වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ හියූ නෙවිල්, හෙන්රි පාකර්, කොඩ්රින්ටන් වැනි සුදු ජාතික පරිපාලන නිලධාරින්, සුගතපාල ද සිල්වා, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ජේ.බී. දිසානායක, පී.බී. මීගස්කුඹුර, කේ.එන්.ඕ. ධර්මදාස, හේමපාල විජේවර්ධන වැනි මහාචාර්යවරුන්ට අමතරව ගම්බද දුෂ්කර ගුරු සේවය් යෙදුණු ගුරුවරුන් බව අවිවාදිතය.

මායා රංජන්, පියසේන කහඳගමගේ, ඇන්.ටී. කරුණාතිලක, ඔරුක්මාන්කුළමේ චන්දන හිමි, මානෑවේ විමලරතන හිමි, එම්. තුම්දෙණිය, මාමේනියාවේ ඉලංගසිංහ, දඹානේ ගුණවර්ධන, ගුණසේකර ගුණසෝම, සඳරුවන් ලොකුහේවා, මහින්ද කුමාර දළුපොත වැනි ජනශ්‍රැතිවේදීන් අතර කේ.බී. මානෑවයන්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ ජනවහර කේන්ද්‍රීව තබාගෙන ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍රයේ ඔහු ගත් නැවුම් මාවත නිසාය.

පාසල් වියෙහි පටන් ඔහු තුළ පැවැති නිර්මාණ සූක්ෂ්මතාව ඉවහල් කොටගෙන 1966 ගමේ කතාව නමින් ඓතිහාසික ප්‍රති නිර්මාණිත නවකතාවකින් සාහිත්‍ය ක්ෂේත්‍රයට අත්පොත් තබන කේ. බී. මානෑවයන් 1995 සන්නසක සෙනෙහස නමින් එවැනිම ප්‍රතිනිර්මාණයක් පාඨක ලෝකය අබිමුව තබන්නේය.

ගුරු රාජකාරියත් සමඟම රජරටින් මැදරටට එන ඔහු පාඨශාලාචාරිනි චන්ද්‍රලතා ප්‍රනාන්දු මෙණෙවිය සමඟ විවාහ විය. ඔවුන්ට සසිකලා, සසිකමාලා, සසිප්‍රබා නමින් දියණියන් තිදෙනෙකු සිටින අතර, ඔවුහු තිදෙනාම අද උපාධිධරයන් ලෙස සමාජයට වැඩදායී සේවා සපයමින් සිටිති.

සිය සෙනෙහෙබර ප්‍රියම්බිකාවගේ ද නොමඳ සහය ඇතිව කේ.බී. මානෑවයෝ තමා උපන් වැව්බැඳි රටේ රස පිරුණු කතාබහ සහ ජනවහර අධ්‍යයනය කරන්නට සහ ඒවා අනාගත පරපුරට සංරක්ෂණය කොට තබන්නට කළ වෑයමේ මුදුන්මල්කඩ ලෙස 2002 වසරේ දී නුවරකලාවියේ ජනවහර නම් මාහැඟි පර්යේෂණ කෘතිය එළිදක්වන්නේය. එම කෘතිය ඔහුට මුල්ම සාහිත්‍ය සම්මානය ගෙන දෙන්නට සමත් විය.

2011 වසරේ දී මාතලේ වැසියන්ගේ කතාබහ, සංස්කෘතික ජීවිතය, ඇවතුම් පැවතුම්, ඇතුළත් ජන ජීවිතයම වාග් විද්‍යා අධ්‍යයන පුස්තකයක් තුළට ගොනු කරමින් මහතලා ජනවහර නමින් මැහැඟි පර්යේෂණ කෘතියක් කරමින් හෙතෙම තුන්වන වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ ජනශ්‍රැති විෂය ක්ෂේත්‍රය සඳහා තෙවරක්ම රාජ්‍ය සම්මානය දිනාගත් මධ්‍යම පළාතේ සිටින එකම ලේඛකයා වශයෙනි.

ශාස්ත්‍රීය සඟරා පොතපත සඳහා නිරන්තරවම ලියූ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තත් විෂයෙහි ශාස්ත්‍රවන්තයෙකි. 2021 වසරේ ඉව නමින් තවත් ප්‍රති නිර්මාණයක් කළ ඔහුගේ අවසාන ශාස්ත්‍රීය කෘතිය මොරගහකන්ද ව්‍යාපෘතියට යටවී ලංකා සිතියමෙන් මැකී ගිය ගම්මානවල ජන ජීවිතය සොයාගිය කාලනදීබඩ ජනවහර කෘතියයි.

ඔහුගේ සේවය අගයා මධ්‍යම පළාත් සභාව මැදරට අභිමානයෙන් ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලාභූෂණ සම්මානයෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය අස්පර්ශනීය උරුම උපදේශක සභාව මඟින් කලා කීර්ති සම්මානයෙන් ද ගෞරවයට පාත්‍ර කොට තිබේ.

ජනශ්‍රැතිය විෂයෙහි ඔහු විසින් සිදු කරන ලද සේවය අගයා ඔහු උපන් ගම් පළාතේ රජරට විශ්වවිද්‍යාලයෙන් හෝ සෙසු ජාතික විශ්වවිද්‍යාලයකින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්නට කල්පනා කළා නම් එය ඔහුට නොව, එම විශ්වවිද්‍යාලයන්ට ගෞරවයක් බව සටහන් කරනු කැමැත්තෙමි. එහෙත් එසේ සිදු නොවීය.

මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ අනුශාසකවරයකු ලෙස කටයුතු කළ හෙතෙම මහතලාවේ සිට 86 වන වියෙහිද අනලස්ව තම ලිවිසැරියට ජීවය පිඹිමින් සිටියේය.

එසේ වුවද ඉතා ටික කලක් රෝගාතුරුව සිටි එතුමා පසුගිය 31 වැනි දා සිය සාහිත සැරිය මෙන්ම දිවිසැරිය ද නිම කළේය. ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍රයට මෙන්ම නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයට එතුමාගෙන් සිදු වූ සේවය අතිඋත්කෘෂ්ටය.

රාජ්‍ය සම්මානයෙන් මෙන්ම බහුමානි සම්මානයන්ගෙන් පුද ලද අනතිමානී නිරහංකාර ගැමි විද්වතාට මාතලේ සාහිත්‍ය කලා සංසදයේත් මාතලේ ලේඛක ලේඛිකාවන්ගේත් ගෞරව බහුමානය පිරිනමමු. එතුමාගේ භව ගමන කෙටි වී නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ගාමිණී නිශාන්ත කරුණාරත්න

සභාපති – මාතලේ දිස්ත්‍රික්

සාහිත්‍ය කලා සංසදය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT