ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස මන්නාරමට රැගෙන එන ලද විදේශීය ගිරවුන්, දඬු ලේනුන් හා තවත් සතුන් විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හතර දෙනකු නාවික හමුදාව, මන්නාරමේ කරිසාලෙයි ප්‍රදේශයේදී පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.
පක්ෂීන් ඇතුළු සතුන් රැඳවූ කූඩු තොගයක් වෑන් රථයකට පටවන බවට ලද තොරතුරක් මත එහි ගිය නාවික හමුදාවේ පිරිසක් සිද්ධියට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම සතුන් පිළිබඳව නිවැරැදි තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
මේ පිළිබඳව මන්නාරම පොලීසියේ නිලධාරීන් දැනුම්වත්කොට එම ස්ථානයට නිලධාරීන් කැඳවා කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙම සතුන් මන්නාරමට රැගෙන එන ලද බවයි.
මන්නාරම නගරයේ ව්‍යාපාරිකයකු වෙත අලෙවි කිරීම පිණිස මෙම සතුන් රැගෙන යන බව ද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
එම කූඩුවල අප්‍රිකානු පරෙවියන් 225ක් , අප්‍රිකානු ගිරවුන් 25ක්, විදේශීය දඬු ලේනුන් 8ක් හා තවත් විවිධ පක්ෂීන් 13ක් ද සිට ඇත. පක්ෂීන්ට ලබා දෙන ආහාර හා ඖෂධ තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගෙන ඇත.
සැකකරුවන් හා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සතුන් වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දී තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ