Sunday, May 11, 2025
Home » ඉතිහාසයේ පළමු වතාවට ඊළඟ වර්ෂයට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර තිබෙනවා

ඉතිහාසයේ පළමු වතාවට ඊළඟ වර්ෂයට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර තිබෙනවා

-ඇමැති නලින්ද ජයතිස්ස

by sachintha
February 6, 2025 1:23 am 0 comment

ඉතිහාසයේ පළමු වතාවට වෛද්‍ය සැපයීම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට ඊළඟ වර්ෂයට අවශ්‍ය කරන ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ස්වේච්ඡා කැපවීම යටතේ එසේ ඇණවුම් ලබාදීම සිදු කළ බවත් සියලු ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

සභාව කල් තබන අවස්ථාවේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල කරාපිටිය රෝහලේ ගැටලු ගැන කතා කළා. ඇමැතිවරයා වෙලා මම පළමුවරටම ගිය රෝහල් නිරීක්ෂණය තමයි ඒ රෝහල. මහ රෝහලක සිට ශික්ෂණ රෝහලක් දක්වා වූ පරිවර්තනයක් ගාල්ල රෝහල තුළ සිදු කරනවා. හෘද කැතීටකරණ ඒකකය තුළ තිබෙන ප්‍රශ්නය ඉදිරි දින 10 තුළදී නිරාකරණය කරනවා. ඩෙංගු සහායකයන්ගේ ස්ථිරභාවය ගැන අවුරුදු 8ක තිබෙන ගැටලුව විසඳමින් ඔවුන් ස්ථිර කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය සේවාවේ සියලු බඳවා ගැනීම් පසුගිය කාලයේ නතර කර තිබුණා. නමුත් සෞඛ්‍ය සේවාවට එය කළ නොහැකියි. තව මාසයක් තුළදී හෙද නිලධාරීන් 3500ක් ද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 976ක්, ඖෂධවේදීන් 110ක්, විකිරණ ශිල්පීන් 42ක් බඳවා ගැනීමටත් කටයුතු කරනවා. ඒ අනුව රෝහල්වල පවතින ගැටලු යම් ප්‍රමාණයකින් විසඳීමට පුළුවන්. පාසල් දන්ත චිකිත්සකයන් 42ක් ඩිස්පෙන්සර්ස්ලා 160ක් ඇතුළු පුහුණුවීම් කරන අය රාජ්‍ය සේවාවට අනුයුක්ත කරනවා. හිරවෙලා තිබූ ගැටලු තමයි මේ නිරාකරණය කරමින් යන්නේ. සාමාන්‍ය තත්ත්වයෙන් රටේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් අවශ්‍යයයි. අපිට ඉන්නේ 2000ක් විතර. අවුරුදු 63ක් දක්වා දිගු කළේ සිටින විශේෂඥ වෛද්‍ය සේවාව තවදුරටත් ලබා ගැනීමට. රටේ දේශපාලන අස්ථාවරභාවය ඇතුළු ගැටලු නිසා රට හැර ගිය සියලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට නැවත මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කරනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය යනාදිය එක්ව කටයුතු කරනවා. ඖෂධ ලියාපදිංචිය සඳහා පැවැති ලිපිගොනු 2100ක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ තිබුණා. එය 447ක් දක්වා අඩු කර තිබෙනවා. ජනවාරි මාසයේ පමණක් ෆයිල් 330කට ලියාපදිංචිය දුන්නා. අප්‍රේල් මාසය වන විට සියලු ලිපිගොනු ලියාපදිංචි කිරීම් සිදු කරනවා. වෛද්‍ය සැපයීම් අංශය තුළ ගැටලුවක් තිබුණා. රෝහල්වලින් ඉල්ලන ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා ලබාදීමේදී කාලයක් ගත වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට මාස 9ක් පමණ ගත වෙනවා. එවැනි විටකදී 2026 ඇණවුම මේ වන විට කළ යුතුයි. අපේ ආණ්ඩුව යටතේ එය මේ වන විට සිදු කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT