Monday, May 12, 2025
Home » වාහන නිෂ්පාදනයට ඉදිරිපත් වන දේශීය කර්මාන්තකරුවන් ද ආරක්ෂා කළ යුතුයි

වාහන නිෂ්පාදනයට ඉදිරිපත් වන දේශීය කර්මාන්තකරුවන් ද ආරක්ෂා කළ යුතුයි

-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
February 6, 2025 1:24 am 0 comment

වාහන ආනයනය ක්‍රමානුකූලව සිදුකරන අතරතුර දේශීය වශයෙන් වාහන නිෂ්පාදනයට ඉදිරිපත්ව සිටින කර්මාන්තකරුවන්ද ආරක්ෂා කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

මේ වන විට දේශීය වශයෙන් වාහන නිෂ්පාදනය සඳහා ආයතන 17ක් ඉදිරිපත්ව සිටින බවද හෙතෙම පැවසීය.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවති විවාදයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද පැවසීය.

“බහලුම් ප්‍රශ්නය දැන් විසඳලා තියෙන්නේ. රේගු සංගමයම ඒක කිවුවා. සංගමය ම කිවුවා කිසිම රටක බහලුම් සියයට සියයක් පරීක්ෂා කරන්නේ නැහැ කියලා. ආණ්ඩුකාරවරයාවත් ඈඳලා තිබුණා . මින් පෙරත් මෙලෙස බහලුම් නිදහස් කරලා තියෙනවා. කාට හරි ගැටලුවක් තිබුණා නම් පැමිණිලි කරන්න ආයතන තියෙනවා. එහෙම නොකර ප්‍රසිද්ධිය ගන්න ඕන නිසා නිකන් කෑගහනවා. අපි තමයි මේ වගේ ප්‍රශ්නයක් කෙටිම කාලයකින් විසඳූ ආණ්ඩුව. වාහන ගෙන්වීම ගැනත් කතා කළා. රටේ සංචිත නැති කළ අය දැන් අහනවා වාහන ගෙන්වන්නෙ නැත්තේ ඇයි කියලා. දේශීය වශයෙන් වාහන නිෂ්පාදනයට ආයතන දාහතක් ඇවිල්ලා තියෙනවා. ඒ කර්මාන්තකරුවන්ට අපි අවස්ථාව දිය යුතුයි. අපිට අපනයන වෙළෙඳපළක් හැදිලා තියෙනවා. වාහන ආනයන කර්මානත්ය වගේම දේශීය නිෂ්පාදන කාර්මාන්තයත් ආරක්ෂා කර ගත යුතුයි. විදේශ ආයෝජන ගෙන්වා ගන්නවා සේම ඒ අයෝජන ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතුයි. දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරගෙන යාම තමයි අපේ ප්‍රතිපත්තිය. වාහන ගෙන්වීම අදියර තුනකින් ක්‍රියාත්මක කරනවා. මාස තුනකින් ලියාපදිංචි නොකරන වාහනවලට පෙනල්ටියක් ගහනවා. ඒ සඳහා අයිතියක් තියෙනවා.

හනීෆා ආණ්ඩුකාරවරයාත් සම්බන්ධ කරලත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා. බහලුම් අතර එක්ස්ෆෝ ලංකා නමින් ආයතනයක් නැහැ කියලා රේගු අධ්‍යක්ෂවරයාත් ප්‍රකාශයක් සිදුකර තිබුණා.”

නාමල් රාජපක්ෂ මහතා –

“එළියට ගිය කන්ටේනර් තුන්සියය හනිෆා ආණ්ඩුකාරවරයාගේ කියලා මම චෝදනා කළේ නැහැ. මම කිවුවේ මේ සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.”

ඇමැතිවරයා –

“එක කන්ටේනර් පෙට්ටියක හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් පැමිණිලි කරන්න. අපි ප්‍රශ්න කළ යුත්තේ ක්‍රමවේදයයි. ඉඩකඩ මදි නිසා අපි බ්ලූමැන්ඩල්වල අක්කර දෙකක් ගත්තා. ඒ වගේම තවත් අක්කර පහක් ගත්තා. වාහන ආනයනය පිළිබඳව 2019 සිටම ප්‍රශ්නයක් තිබුණා. රටේ ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණු නිසා, රටේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණ නිසා කවුරුත් කරපු පාලනයේ වැරැද්ද නිසා රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්න ඇතිකරපු අය අද අහනවා ඇයි වාහන ගේන්නෙ නැත්තේ කියලා. 2019 සිට වාහන ආනයනය නතර කර තිබුණා. නමුත් අද වන විට ආනයන අපනයන සීමාවන් වැඩි වෙලා, ආර්ථිකය යම් තරමකට ශක්තිමත් වෙලා, ඩොලර් සංචිත වැඩිවෙලා අපනයන ක්ෂේත්‍රය වර්ධනය වී ඇති නිසා ඩොලර්වල යම් සංචිතයක් තිබෙනවා. අපනයන ආදායම වර්ධනය වී තිබෙනවා. ඒ නිසා යම් ක්‍රමවේදයකට අනුව වාහන ආනයනයට ඉඩ ලබා දීමේ හැකියාව තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT