Home » බැලැන්සයේ උපාංග වෙනස් කර වී හොරට කිරලා

බැලැන්සයේ උපාංග වෙනස් කර වී හොරට කිරලා

by sachintha
February 6, 2025 1:18 am 0 comment

ආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයේ ගොවින්ගේ තෙත වී මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරින් ඔහු රැගෙන ආ බිම් බැලැන්සයෙ බර වෙනස් කරමින් ගොවීන්ගේ වී හොරට කිරමින් සිටියදී ගොවීන් විසින් අදාළ ව්‍යාපාරීකයා හා ලොරි රථය සමඟ එහි සේවකයින් පිරිස ආණමඩුව පොලීසියට භාරදීමට ඉකුත් 4 වැනිදා සවස කටයුතු කර තිබූ බව පොලීසිය පවසයි.

මෙම ව්‍යාපාරීකයා රැගෙන ආ බිම් බැලැන්සය කිසිවකුට සැක නොසිතන අයුරින් එහි නියමිත බර සලකුණු නොවන ලෙසට පහත යකඩ රාමුවට අඟල් පහේ යකඩ ඇණ දමා සිර කරමින් වී ලබා ගනිමින් තමන්ට වංචාවක් කළ බව ගොවීන් චෝදනා කරති.

ආණමඩුව රඹේයාය ප්‍රදේශයේ ගොවි මහතෙකුට අයත් වී තොගයක් කිරන අවස්ථාවේදි ඒ පිළිබඳව නිවෙස් හිමි ගොවි මහතා ඇතුළු පවුලේ පිරිසට සැක සිතී ඇති බවත්, නිවැසියන්ට යම් සැකයක් මතුව ඇති බවට දැන ගත් ව්‍යාපාරිකයා කඩිනමින් අදාළ වී සඳහා මුදල් ගෙවා පිටවයාමට සූදානම් වන විට ගම්වාසීන් එක්ව ලොරිය නවතා තිබූ බව පොලීසිය පවසයි.

ඒ සමඟ බිම් බැලැන්සය බිමට ගෙන පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ නියමිත ලෙස සැකසී තිබූ දෑ ඉවත් කර ඒ සඳහා යකඩ ඇණ යොදා තිබූ බවයි. ගොවීන් පවසන්නේ එසේ සැකසූ විට තමන්ගේ එක් වී මිටියකින් කිලෝ 10කට රහසේ හොරට කිරා ගැනීම සිදුවන බවයි.

අදලා සිද්ධියට මුහුණදුන් ගොවිමහතා වන එම්.එම්. මුදියන්සේ ගොවිමහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

“අපි අහිංසක මිනිස්සු. මාස තුනකට වැඩි කාලයක් දහදුක් විඳලා ගෙට ගත්ත වී ටික හොරට කිරාගෙන ගිහාම අපි ජීවත් වෙන්නේ කොහොමද? ඇත්තටම අපිට හිතාගන්න බැහැ.

මගේ තෙත වී කිලෝව රුපියල් 108 ගාණේ මුදලට ගන්න මේ මුදලාලි පොරෝන්දු වුණා. ඒ නිසා මම වී ටික එයාට දුන්නා. සේරම වී කිරුවේ බිම් බැලැන්සයෙන්. ඒ කිරද්දී මට සැක හිතුනා හැම උරයකම තිබුණේ කිලෝ 35, 36 වගේ, නමුත් අපේ දැනුමේ හැටියට කිලෝ 50ට වැඩි වෙන්න ඕනා, ඒ නිසා අපිට සැකය වැඩි වුණා.

ඒ ගැන අහපුහාම එක එක ඒවා කියලා කිරපු වීවලට සල්ලී දිලා යන්න සූදානම් වුණා. මමයි අපේ ළමයි එකතු වෙලා දොස් කියලා බැණ වැදුනා. පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා බැලැන්සය බිමට අරන් බැලුවා.

එතකොටයි දැක්කේ බැලැන්සේ යකඩ තට්ටුව තිබෙන ඇණ ඉවත් කරලා නියමිත බර අදින එක අඩු කරන්න අඟල් පහේ යකඩ ඇණ දාලා තිබෙනවා. අපි පොලීසියට කතා කරලා කිවුවා. පොලීසිය අපේ කිරපු වී අරන් යන්න හැදුවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. මොකද මේ වී පොලීසියට අරන් ගිහින් උසාවි දාලා කවදා දෙයිද දන්නේ නැති නිසා. එතකොට වී තොගයම තෙත නිසා විනාශ වෙන්න අපිට ඉඩදෙන්න බැරි හින්දා. හැබැයි පොලීසියට හොරුයි බැලන්සැයි අල්ලලා දුන්න නිසා එයාලා ඉතිරි පරීක්ෂණය කරලා දායි කියලා අපි හිතනවා යැයි ඔහු පවසන්නට විය.

ආණමඩුව පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ලොරි රථය හා එහි තිබූ තවත් වී තොගයක් හා බිම් බැලැන්සය සමඟ ලොරි රථය පොලීසිය වෙත අදාළ පරික්ෂණ සඳහා රැගෙනයාම සිදු විණි.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ රජය වී අලෙවි මණ්ඩලය සක්‍රිය කර තිබුණා නම් කිසිදු ලෙසකින් මෙලෙස ගම්පුරා ගමන් කරමින් වී මිලදී ගන්නා පිරිසට කිසිදු ලෙසකින් වී ලබාදීමක් සිදු නොකරන බවයි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT