ගමක සමගිය, සහයෝගය මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින් 77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව අනූවක් මෙහෙණින් වහන්සේ එකම ස්ථානයකට වැඩමවා දානමය පින්කම් මාලාවක් සිදුකිරීම පසුගියදා සිදු කෙරිණ.
ගල්කඩුව මිණි මුතු ජනහල පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට දෙකඳුවල, පාදුක්ක, පිලියන්දල, බණ්ඩාරගම, පරගස්තොට, කොබවක, දාමිංගමුව, කැන්නන්තුඩාව, හෑගල්ලවත්ත ආදී ප්‍රදේශවලින් මෙහෙණින්වහන්සේ වැඩම කර සිටියහ. ගල්කඩුව, අම්බාගල හා ඉදිකඩහේන ගම්මාන තුනේ ජනතාව මිතුරු, රන්තරු, ප්‍රගති, සුහද, වාසනා, උදාර, ප්‍රසාද්, ශක්ති, රන්මුතු යනුවෙන් කලාප නවයකට බෙදා එක් කලාපයකට මෙහෙණින්වහන්සේ දසදෙනකු බැගින් භාර කර සියලුම ව්‍යාංජන, අතුරුපස ඇතුළු පිරිකර එකම ආකාරයකට පූජා කිරීම ද මෙහි විශේෂත්වය විය.
ගල්කඩුව, අම්බාගල, ඉදිකඩහේන මිණිමුතු ප්‍රජා මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණ.
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ