Home » ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි

ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි

by mahesh
February 7, 2025 1:01 am 0 comment

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැති හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා දුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ. නීතිපතිවරයා වගකිවයුත්තේ පාර්ලිමේන්තුවට බවත් යුක්ති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය දී ඇති පොරොන්දුව ඉටු කිරීමට ඇති එකම මාර්ගය වන්නේ පාර්ලිමේන්තුව හමුවේ ඔහුට දෝෂාභියෝගයක් ගෙන ඒම සහ ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම බවත් ඇය එම ලිපියේ දක්වා ඇත.

දේශපාලන මැදිහත්වීම්වලින් තොර අපරාධ යුක්ති පද්ධතියක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දී ඇති පොරොන්දුව හේතුවෙන් ඇති විය හැකි දේශපාලන අවදානම් තිබියදීත් රජය මෙම තීරණය සමාලෝචනය කරන බවට කළ ප්‍රකාශය ගැන කෘතඥ වෙමි යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.

මේ සිද්ධිය අහම්බයකින් සිදු වූවක් හෝ අත්වැරැද්දක් නොවන බවත් මෙය නොසැලකිලිමත්භාවය, අනුකම්පා විරහිත බව, ආත්ම තෘප්තිය සහ අපරාධවල වින්දිතයන් සහ අපගේ යුක්ති පද්ධතියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම තම ජීවිත අවදානමට ලක් කරන සාක්ෂිකරුවන් කෙරෙහි ඇති වගවීම නොසලකා හැරීමේ සංස්කෘතියක් බවත් එම ලිපිය මඟින් සඳහන් කර තිබේ.

‘මගේ පියා 2009 ජනවාරි 8 වැනි දින රැකියාවට යමින් සිටියදී මාර්ගයේදී මරා දමන ලදි. මෙම ප්‍රහාරය සිදුවූයේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වටා පිහිටි අධිආරක්ෂිත කලාපය තුළ දිවා කාලයේදීය. ඔහුගේ ඝාතකයන් කඳවුර දෙසට පලා ගොස් ඇති අතර ඔවුන් කවදාවත් හඳුනාගෙන නැත. 2015දී රාජපක්ෂ පාලනය බලයෙන් පහකිරීමෙන් පසු නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරනතුරු ඝාතනය හෝ එහි පැහැදිලි වසන් කිරීම ගැන බරපතළ ලෙස හෝ විශ්වසනීය ලෙස පරීක්ෂණ පවත්වා නැත.’ යනුවෙන්ද සඳහන් කර ඇත.

‘2015 සිට 2019 දක්වා පැවති පසුකාලීන පරීක්ෂණවලදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය ගණනක් තොරතුරු ඉතා සූක්ෂ්ම ලෙස විමර්ශනය කර පරීක්ෂණ ද්‍රව්‍ය කාණ්ඩ 50කට වැඩි ප්‍රමාණයක සාක්ෂි එක්රැස් කර ඇත. මගේ දැනීමේ හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ කිසිදු තනි පරීක්ෂණයක් මෙතරම් සවිස්තරාත්මක වී නොමැත. මගේ පියාගේ ඝාතනය පිටුපස ඇති සත්‍යය සොයා ගැනීමේ එකම බලාපොරොත්තුව වන්නේ මෙම අපරාධය වසන් කළේ කෙසේ ද සහ ඇයි ද යන්න විමර්ශනය කිරීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තේරුම්ගෙන තිබිණි යනුවෙන් ද දක්වා ඇත.

ඔහු තවදුරටත් නීතිපති ලෙස සේවය කිරීමට සුදුසු නොවේ. මගේ පියාගේ මෙම කරුණට පුළුල් ප්‍රචාරයක් සහ මහජන විරෝධයක් ලැබීමට තරම් මගේ පවුල වාසනාවන්ත විය. නමුත් නීතිපතිවරයාට මෙතරම් ඉහළ පැතිකඩක කරුණක් සම්බන්ධයෙන් මෙතරම් නොසැලකිලිමත් ලෙස කටයුතු කළ හැකි නම්, අපරාධකරුවන් වගවීමට පත් කිරීමේ මහජන උත්සාහයන් මෙහෙයවීම සඳහා රණසිංහ මහතා මත යැපෙන සාමාන්‍ය ජනතාව විඳින වේදනාව මට සිතාගත නොහැකි’ යැයි ද ඇය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT