Home » තීරුබදු ඉහළ දැමූ ට්‍රම්ප්ට චීනයෙන් දැඩි ප්‍රතිචාර

තීරුබදු ඉහළ දැමූ ට්‍රම්ප්ට චීනයෙන් දැඩි ප්‍රතිචාර

by mahesh
February 7, 2025 1:00 am 0 comment

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%කින් තීරුබදු ඉහළ නැංවීමට අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් චීනය ද අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන විශේෂිත භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන ගල්අඟුරු සහ ද්‍රවශීලී ස්වභාවික ගෑස් සඳහා 10% ක ආනයනික තීරුබදු සහ බොරතෙල් සඳහා 15% ක ආනයනික තීරුබදු ඉහළ දැමීමට චීන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. චීනය මේ පියවර ගෙන ඇත්තේ අමෙරිකාවෙන් පොසිල ඉන්ධන ආනයනය කරන්නේ නම් එම තීරුබදු ගෙවිය යුතු බව අවධාරණය කරමින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ආනයනික භාණ්ඩ සඳහා තීරුබදු පනවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ද එවැනි ප්‍රකාශයක් සිදු කර තිබූ අතර, තීරුබදුවලින් වැළකී සිටීමට නම් අවශ්‍ය භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කරන ලෙස එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි. ලොව විශාලතම ගල් අඟුරු ආනයනකරු වන චීනය ආනයනික තීරුබදු ඉහළ නැංවීමට ගත් පියවර පිළිබඳ අමෙරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT