Home » අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාව නැංවීමට කෝටි 76ක්
හොරණ අපනයන සැකසුම් කලාපයේ

අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාව නැංවීමට කෝටි 76ක්

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පිරිපහදු යන්ත්‍රාගාරය රු.කෝටි හැත්තෑ හයක් වැය කර ධාරිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන කලාපයන්හි මූලික ලක්ෂණ වන්නේ, ආයෝජකයන්ට තම කර්මාන්ත පහසුවෙන් කරගෙන යෑමට හැකි වන පරිදි සේවා හා යටිතල පහසුකම් සැපයීම ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමයි. විදුලිය, ජලය, අපජල ප්‍රවාහන පද්ධති මෙන්ම අභ්‍යන්තර ආලෝකකරණ පද්ධති සහ අභ්‍යන්තර මාර්ග පද්ධති උසස් මට්ටමේ පැවතීම ආයෝජක ආකර්ෂණය දිනා ගැනීමට හේතු වේ. මේ අත්‍යවශ්‍ය පහසුකම් මඟින් ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කළ වහාම වාණිජ මෙහෙයුම් හෝ ඉදිකිරීම් සිදු කිරීමට ආයෝජකයන්ට හැකියාව ලැබේ.

සෑම ආයෝජන කලාපයකම මේ පහසුකම් උසස් මට්ටමක පවතී. කාලානුරූපීව මෙන්ම අනාගත අවශ්‍යතාවන්ට අවශ්‍ය පරිදි මේ පහසුකම් ද වර්ධනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගනී. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලාවලින් බැහැර කරන අපජලය පිරිපහදු කිරීම වෙනුවෙන් ස්ථාපිත පොදු අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගැනේ. මේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් කෝටි හැත්තෑපහකට අධික මුදලක් වැය කරයි. නව ධාරිතාව ඉහළ නැංවීමත් සමඟ අපජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ධාරිතාව ඝන මීටර 3000ක් දක්වා ඉහළ යනු ඇත. හොරණ ආයෝජන කලාපය කළුගඟ ආශ්‍රිත පරිසර කලාපයක පිහිටා ඇත. ඒ අනුව කර්මාන්තශාලාවලින් බැහැර කරන අපජලය පරිසරයට මුදාහැරීමේදී ඉහළ ප්‍රමිතියෙන් පිරිසුදු කරන ලද ජලය බවට තහවුරු වූ පසු පරිසරයට මුදාහැරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නව ව්‍යාපෘතිය නිම වීමත් සමඟ කලාපයේ පාරිසරික තිරසරභාවය ඉහළ නැංවේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන වැය ශීර්ෂයේ මේ ව්‍යාපෘතිය ලැයිස්තුගත කර ඇත්තේ පාරිසරික බලපෑම් අවම කිරීමට සහ හොරණ අපනයන සැකසුම් කලාපයට පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් (EPL) ලබා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතා ක්‍රියාකාරකමක් ලෙසය. මේ කොන්ත්‍රාත්තුව ලබාදීමට ජාතික තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය හරහා ලංසු කැඳවන ලදි. සවිස්තරාත්මක ඇගයීමට සුදුසුකම් ලැබූ ලංසු ලේඛනයේ දක්වා ඇති නිර්ණායකයන්ට අනුකූලව ලංසු ඇගයීමට ලක් කර සුදුසුකම් ලැබූ ආයතනයට ව්‍යාපෘතිය ඉදිකිරීම ලබා දෙන ලදි. මාස 18කදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සභාපති අර්ජුන හේරත්, කොන්ත්‍රාත් සමාගම වන මොරටුව ලුමිනෙක්ස් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරුන් වන උපුල් රංජිත් සහ ධනසිරි පාලිත හේරත් මහත්වරු අත්සන් තැබූහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. හඳපාන්ගොඩ, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමාලි අභයපාල මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT