කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නැඟෙනහිර මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට නැඟෙනහිර දෙසින්, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට පත්ව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් විදෙස් නෞකාවක සහායෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් ඊයේ (06) කටයුතු කර තිබේ.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු කරමින් සිටියදී හදිසි අනතුරකට පත්ව තුවාල ලබා අසාධ්‍යව සිටින ධීවරයකු වෙත ප්‍රතිකාර ලබාදීමට ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම් දීමකට වහාම ප්‍රතිචාර දැක්වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, අසාධ්‍ය රෝගියා ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස නැඟෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ MV SSI Surprise නෞකාව දැනුම්වත් කර තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා MV SSI Surprise නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ඊයේ (06) ගොඩබිම ආසන්නයට රැගෙන ඒමෙන් පසු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ධීවරයා කඩිනමින් ත්‍රිකුණාමලය වරායට රැගෙන විත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.