Home » වෛද්‍ය අනිල් ජාසිංහ චෝදනාවලින් නිදොස් වී සිටිනවා
ජාතික රෝහලට ආහාර මිලදී ගැනී‍ෙම් සිද්ධිය:

වෛද්‍ය අනිල් ජාසිංහ චෝදනාවලින් නිදොස් වී සිටිනවා

by mahesh
February 7, 2025 1:00 am 0 comment

2016-2017 වසරවලදී ජාතික රෝහලට ආහාර මිලදී ගැනීම සම්බන්ධයෙන්, සිදුකරන ලද විගණන විමර්ශනය තුළින් අනාවරණය වූ කරුණු අනුව එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිදොස් කොට නිදහස් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

2016-2017 වසරවලදී ජාතික රෝහලට අමු, වියළි සහ සකස් කරන ලද ආහාර මිලදි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විගණන විමර්ශනය අනුව, සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග මත සිදුකරන ලද මූලික විමර්ශන අනුව එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම එම විමර්ශනය අවසානයේදී විමර්ශන නිලධාරියා ලබාදී ඇති විමර්ශන වාර්තාවේ ඇතුළත් නිගමන කෙරෙහි අවධානය යොමු කරමින් ආයතන සංග්‍රහයෙහි 58 වන පරිච්ඡේදයේ 22/5/2 අනුව ජාසිංහ මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අදාළ විගණන වාර්තාව සභාගත කළ හැකි බවයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධ ප්‍රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ සියලු නිලධාරින්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. ජාතික රෝහලට ආහාර මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති මෙම විගණනය ලක්ෂ විසිනවයකට අදාළ සිදුවීමක් බව ද චාමර දසනායක මහතා පැවසීය.

රුපියල් ලක්ෂයකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් මායාදුන්න නම් වූ ලේකම්වරයා රිමාන්ඩ් කළ බවත් සිහිපත් කළ මන්ත්‍රීවරයා දේශපාලකයන්ට එරෙහිව කටයුතු කරනවා සේම නිලධාරින් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. එහිදි සියලු නිලධාරින්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව ද චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT