මාවනැල්ල ඓතිහාසික දෙවනගල, කරගම්පිටිගොඩ ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබුණු කිලෝ 60ක් බරැති රුපියල් කෝටි 2ක් පමණ වටිනා යැයි කියන පෞරාණික මකර තොරණ සහිත රිදීමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසිය ගොනුකර තිබුණු චෝදනා යළි සංශෝධනය කර අද (07) දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ගලගම සමරසේකර මහතා පෙරේදා (05) නියෝග කළේය.
පෙරේදා (05) නඩුව කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරින් විසින් සැකකාර හිමිවරු දෙනම හා සෙසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සොරකම් කිරීම, සොර බඩු ළඟ තබා ගැනීම හා කැණීම් සිදු කිරීමේ දී සොයා ගත්තා යැයි සැලකෙන පුරාවස්තුවක් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ පොලීසිය සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබුණි.
පසුව පොලීසිය, රිදීමය මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් එහි පෞරාණික තත්ත්වය පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉල්ලා තිබේ.
එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රිදීමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සමඟ මකර තොරණ පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බව සඳහන් කර කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට දන්වා තිබුණි.
යොමු කර ඇති තෙවැනි චෝදනාවට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැකි බවත් චෝදනාව සංශෝධනය කර යළි අද (07) මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කෙරිණි.
එතෙක් සැකකරු හිමිවරු දෙනම හා රියැදුරුවරයා අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බන්ධනාගාර නිලධාරින්ට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර පෙනී සිටියාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දොම්පේ කිඹුල්විලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන 29 හැවිරිදි හිත්තැටියේ සමිත රතන, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන 34 හැවිරිදි වේඬරුවේ අනුරුද්ධ හා පේරාදෙණිය කැන්දකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින කෝටිපති ව්‍යාපාරිකයකු වන 42 හැවිරිදි මුහන්දිරම් මුදියන්සේලාගේ සිදේස් තරංග බණ්ඩාර නමැති තිදෙනාය.