ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය තුළ නීති අධ්‍යයන අංශයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සලකා බැලීම සිදු කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළාය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් කර ඇති යෝජනාවට අනුව එහි නීති අධ්‍යයන අංශයක් ස්ථාපිත කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව සහතික හා කවුන්සිලය මඟින් නිර්දේශ ලබාදීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
නීති අධ්‍යාපනය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
නීතිවේදී උපාධිය ප්රදානය කරන රජයේ විශ්වවිද්‍යාල 4 ක් පවතින අතර කොළඹ, පේරාදෙණිය, යාපනය විශ්වවිද්‍යාලවලින් සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ප්රදානය කරන බව ද අගමැතිවරිය පැවසුවාය.
විවෘත විශ්වවිද්‍යාලයත් රජයේ විශ්වවිද්‍යාලයක් වන අතර එහි අධ්‍යයන කටයුතු සිදු කරනුයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ බවත් රජයේ විශ්වවිද්‍යාලවල නීතිවේදී උපාධිය හදාරන අවසන් වසර සිසුන් නීති විද්‍යාලයේ විභාගයන්ට පෙනී සිටිය යුතු අතර එම ක්‍රමය විවෘත විශ්වවිද්‍යාලයට ද අදාළ වන බවත් අගමැතිවරිය පැවසුවාය.
ජාතික ප්‍රතිපත්තියක් මත අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් කිසියම් විශ්වවිද්‍යාලයක් තුළ පීඨයක් පිහිටුවීමට අදාළ විශ්වවිද්‍යාලයෙන් ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වූ පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සලකා බැලීමක් සිදු කිරීමෙන් පසුව සිදු කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.