Home » මන්නාරමේ සුළං විදුලි බලාගාර ටෙන්ඩරය හේලීස් සමාගමට දීමෙන් විශාල ලාභයක් ලැබෙනවා

මන්නාරමේ සුළං විදුලි බලාගාර ටෙන්ඩරය හේලීස් සමාගමට දීමෙන් විශාල ලාභයක් ලැබෙනවා

by mahesh
February 7, 2025 1:00 am 0 comment

මන්නාරමේ සුළං විදුලි බලාගාර ටෙන්ඩරය හේලීස් සමාගමට දීමෙන් අ‍ෙමරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක ලාභයක් ලැබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊට අදාළව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.

ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“මන්නාරමේ මෙගාවොට් පනහක සුළං විදුලි බලාගාරය සඳහා ලන්සු පත් පහක් ලැබී තිබුණා. දෙකක් ප්‍රතික්ෂේප වුණා. හේලීස් සමාගමට අයත් ෆෙන්ටන් ආයතනයත් ඒ අතර තිබුණා. ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තීරණය වුණේ වින්ඩ් ෆෝස් සමාගමට. ඒ ආයතනය කිලෝ වොට් පැයකට ඩොලර් ශත 4.88ක් ඉදිරිපත් කර තිබුණා. අනෙක් සමාගම්වල මිල වැඩියි. මුලින්ම ප්‍රතික්ෂේප වුණු ෆෙන්ටන් සමාගම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අභියාචනා මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ 15 වැනිදා මණ්ඩලය තීරණයක් දුන්නා. එමඟින් කියවුණේ මෙම සමාගමේ මූල්‍ය යෝජනාව තාක්ෂණික ඇගයීම් කමිටුව විවෘත නොකිරීම ගැනයි. ඒ නිසා එම මූල්‍ය යෝජනාව විවෘත කරන ලෙසට නියම කළා. ඒ අනුව ලන්සුව වුණේ කිලෝ වොට් පැයකට ඩොලර් ශත 4.65ක මිලක්. මෙම තත්ත්වය මත වින්ඩ් ෆෝස් සමාගම නඩුවක් පැවරුවා. පසුව ඒ අයම ඒ නඩුව ඉවත් කර ගන්නා බව අපට ලිඛිතව දන්වා සිටියා. එතැන වෙනම ඩීල් එකක් තිබුණෙ නැහැ. එතකොට අවම මිල ආවේ හේලීස් ෆෙන්ටන් සමාගමේ 4.65. එම මිල අනුව ටෙන්ඩරය ප්‍රදානය කිරීම අනුමත කළා. ඩොලර් ශත දශම දෙකයි තුනක් අඩු වුණා. ව්‍යාපෘතියේ කාලය වසර විස්සක්. ඒ අනුව ටෙන්ඩරය ලබාදීමෙන් මිලියන 2.5ක ලාභයක් ලැබෙනවා. ඒ නිසා තමයි ටෙන්ඩරය ප්‍රදානය කළේ. මේ සම්බන්ධයෙන් ඊයේ චෝදනා කළ මන්ත්‍රීවරයාට කැබිනට් පත්‍රිකාව තේරුම් ගන්න අමාරු වුණාද කියලා හිතෙනවා. තොරතුරු ටිකක් අරගෙන මෙතැන මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. ලේකම්තුමත් එපා කියලා තියෙද්දි ඇයි දුන්නෙ වැනි කතා කියමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කළා. මන්ත්‍රීවරයා කරුණු විකෘති කිරීම හා සමහර කරුණු ඉදිරිපත් නොකරමින් කළ ප්‍රකාශයක් බව කිව යුතුයි. අපි හරියට වැඩ කරනවා. දැන් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට සැලසුම් කරමින් ඉන්නෙ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT