Home » සිසුන්ට පොත් බෑග් දෙන බව කියමින් චාමර සම්පත් මන්ත්‍රීවරයා ලක්ෂ ගණන් ගිණුම්වලට බැර කර ගත්තා

සිසුන්ට පොත් බෑග් දෙන බව කියමින් චාමර සම්පත් මන්ත්‍රීවරයා ලක්ෂ ගණන් ගිණුම්වලට බැර කර ගත්තා

by mahesh
February 7, 2025 1:00 am 0 comment

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා දරුවන්ට පොත් බෑග් දෙන බවට ප්‍රකාශ කරමින් තමන්ගේ ගිණුමට ලක්ෂ ගණනින් බැර කර ගත් තොරතුරු සහිත ලිපිගොනු නැවත උඩට ගෙන විභාග කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

ඒ මහතා සිදු කර තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති බවත් ඒවා ඉදිරියේදී විභාග කිරීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසුවේය.

බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් සිටියදී විවාදයේ කතාවක් ඉදිරිපත් කරමින් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් මහතා සමන්ත විද්‍යාරත්න මහතා වෙත කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ඔබතුමාගේ ගල්වළ, මහා මාර්ග රක්ෂිතයේ යන්ත්‍ර සවි කරපුවා යනාදිය අපි කියනවා. 2018 ජනවාරි මාසයේ 15 වැනිදා මට විරුද්ධව රුපියල් මිලියන 500ක් ඉල්ලා ඔබතුමා එවූ එන්තරවාසියක් තිබෙනවා. ඒ එන්තරවාසියට මම සතියක් ඇතුළත පිළිතුරු දෙමින් කියා සිටියේ නඩු දාන්න හැබැයි වන්දි ගෙවන්නේ නැහැ හරස් ඉල්ලීමක් කරනවා කියලා. නමුත් නඩු දැම්මාද. අලෙවි කර ගන්න බැරිව තිබූ එප්පාවල පොස්පේට් නිධිය දැවැන්ත වංචාවක් කරමින් විකුණපු බව අපි දන්නවා. ඒ වංචාවන් ගැන හෙළිදරව් කරනවා. ඔහු පදනමක් නැති අලුත් අලුත් චෝදනා කරනවා. කටට එන වචන කියනවා ඔහු. උමා ඔය ගැනත් ගැටලු තිබෙනවා. ඔබතුමාගේම පළාතේ ජනතාව මේ නිසා අසරණ වන විට ඔවුන් වෙනුවෙන් ඔබතුමා පෙනී සිටියේ නැහැ. ඒ ජනතාවට සහන ගැනීමට 48 වතාවක් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නිවාස වන්දි, වගා වන්දි, ජලය ඒ ජනතාවට ලබාදුන්නේ අපියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT