Home » වයෝවෘද්ධ පුද්ගලයකු හේතුවෙන් මගී ආවරණය ජනයාට නෑ
මහමඟට ගෙනැවිත් දැමූ 

වයෝවෘද්ධ පුද්ගලයකු හේතුවෙන් මගී ආවරණය ජනයාට නෑ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

නිකවැරටිය - ගයන්දි පමෝධා
රජයේ ගොඩනැඟිල්ල තුළ සිටින පුද්ගලයා

නිකවැරටිය, ප්‍රධාන මාර්ගයේ නගරාසන්න තලාකොලහේන පන්සල අසල බස් මඟී ආවරණයට කිසිවෙකු විසින් රාත්‍රී කාලයේ ගෙනැවිත් දමන ලද වයෝවෘද්ද පුද්ගලයෙකු හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දී ඇති අතර, මෙම අසරණ පුද්ගලයාට වහා නිසි රැකවරණයක් අවශ්‍ය බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වයස අවුරුදු 80ක පමණ වන මෙම පුද්ගලයා මදුරන්කුලිය පදිංචි අයෙකු බවද, නමින් ස්ටීවන් බවද, තමන්ගේ බිරිය මියගොස් ඇති බවත්, දියණියක් සිටින බවත් ඔහු පවසයි. රාත්‍රී කාලයේ දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් මෙම ස්ථානයට තමන් ගෙනැවිත් දැමූ බවද ඔහු පවසයි.

අවට සිටින පිරිස් මෙම පුද්ගලයාට ආහාර පානාදිය ලබාදෙන අතර, මොහු මල පහ කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, එම ස්ථානයේම සිදු කිරීම හේතුවෙන්, අධික දුර්ගන්ධයක් මෙන්ම මගී ජනයාට, මෙම බස් මගී ආවරණය භාවිත කිරීමට නොහැකි වීමෙන් ඔවුහු ගැටලු රැසකට මුහුණ දී ඇති බවද ජනතාව පවසා සිටිති.

නිකවැරටිය පුත්තලම ප්‍රධාන මාර්ගයේ නගරාසන්නව පිහිටි මෙම බස් මගී ආවරණය ආසන්නයේ, විහාරස්ථානය, මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය, පෙර පාසල ඇතුළු නිවාස රැසක් ද පිහිටා ඇති අතර දිනපතා දෛනිකව විශාල ජනතාවක් මෙම බස් මගී ආවරණය භාවිත කළ ද, පවතින තත්ත්වය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දී ඇති බවද ඔවුහු පවසා සිටිති. එසේම බස් මගී ආවරණය ඉදිරිපිට ඇති කඩා වැටීමට ආසන්න රජයේ ගොඩනැඟිල්ල තුළ වෙසෙන එවැනිම අයෙකු නිසාද ජනතාවට ගැටලු මතුවී ඇති අතර, ඔහුට විශාල ජීවිත අවදානමක්ද පවතින බැවින් මොහුටද වහා රැකවරණයක් අවැසි බවද ප්‍රදේශවාසීහු බලධාරීන්ට අවධාරණය කර සිටිති.

මෙම පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි එස්. සෙල්වදොරේ බවත්, ඥාතීන් අත්හැර දැමීම හේතුවෙන්, මෙම ගරා වැටුන ගොඩනැඟිල්ල තුළ ජීවත අවදානම නොතකා ජීවත්වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මෙම අසරණ පුද්ගලයන් දෙදෙනා හේතුවෙන්, පවතින තත්ත්වයන් පිළිබඳව මාස ගණනාවක් පුරා බලධාරීන් දැනුවත් කළද, ප්‍රතිචාරයක් නොමැති බවද ප්‍රදේශ වාසීහු පවසා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT