Home » ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 229යි
වෝන්-මුරලි දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 229යි

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට දිනය නිමා‍‍ෙවද්දී කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබා සිටියේය.

තම 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලැබූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටින අතර, අවසන් පිතිකරු ළහිරු කුමාර ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියි. කුසල් අගනා ටෙස්ට් ඉනිමක් ගොඩනැඟීමට කදිම වෙහෙසක් ගත් අතර, ඔහුගේ සහායට පිතිකරුවන් නැතිවීම ගැටලුවක්වී තිබේ. ඔහු පන්දු 107කට මුහුණදී හයේ පහරක් හා හත‍රේ පහර 6ක් එල්ල කළ අතර, මනා පාලනයකින් පිත්ත හැසිරවිය.

රමේෂ් මෙන්ඩිස් සමඟ 7 වැනි කඩුල්ලට පන්දු 140කදී ලකුණු 65ක සබඳතාවක් ගොඩනැඟී තිබියදී රමේෂ් ලකුණු 28කට දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වූ අතර, ප්‍රභාත් සහ නිශාන් පීරිස් අඩු ලකුණු ගණනකට දැවී ගියහ.

දිවා විවේකයෙන් පසු පැයක් වැනි කාලයකදී ලකුණු 34කට කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා මුල්පෙළේ පිතිකරුවන් එකා පිට එකා ක්‍රීඩාගාරයට යද්දී සියලු බර කරට ගත් දිනේෂ් චන්දිමාල් පන්දු 163කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 74ක් ලබා තම ටෙස්ට් දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම අඩු ලකුණු ගණනකට සීමාවීමේ අවමානයෙන් ගැලවී ගියේය.

චන්දිමාල් පළමු ‍‍ ටෙස්ට් තරගයේදීද ‍ මේ ආකාරයෙන් ලකුණු 72කට සීමාවූ අතර, තරග දෙකේදීම ශතක සම්පූර්ණ කිරීමට වාසනාවන්ත නොවීය. චන්දිමාල් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ගාලු පිටි‍යේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 116ක් ලබා ගැනීමෙන් පසු ඉනිම 7කදී ලකුණු 70කට වැඩියෙන් ලබා ශතකය සම්පූර්ණ කිරීමට නොහැකිව දැවී ගිය 3 වැනි අවස්ථාව ඊයේ වාර්තා විය.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම නේතන් ලයන්ගේ ‍ ගොදුරක් බවට පත්වූ චන්දිමාල් ඊයේ තරගයේදී දඟ පන්දු යවන මැතිව් කූනමන්ගේ පන්දුවකට ඉදිරියට පැමිණ පහරක් එල්ල කරද්දී ‘ස්ටම්ප්’ කිරීමකට හසු විය.

කෙසේ වුවද චන්දිමාල් හා දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ලට පන්දු 151කදී ලකුණු 70ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ. සිය අවසන් ‍ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් ලකුණු 37කට දැවී ගියේ නේතන් ලයන් එවූ පන්දුවකට පසු පාදයේ ආරක්ෂාකාරී පහරකට ගොස් පිත්තේ වැදුණු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

අනතුරුව මැතිව්ස් – චන්දිමාල් සමඟ එක්වුවද පන්දු 36කදී ලකුණු 8ක් දෙදෙනා එක්කර ගත් අතර, නේතන් ලයන්ගේ පන්දුවකට මැතිව්ස් කඩුලු රකින කේරී අතට උඩ පන්දුවක් දී ලකුණු 1කට දැවී ගියේය. වගකීම් විරහිත පිතිකරණයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පළමු ස්ලිප්හී සිටි නායක ස්මිත් අතටම උඩ පන්දුවක් දී ලකුණු 13කට දැවී ගිය අතර, කඩුල්ලට පැමිණ මිනිත්තුවක කාලයකදී එක් පන්දුවකට මුහුණ දුන් නායක ධනංජය ද සිල්වා පැමිණි විගසම යළි හැරී ක්‍රීඩාගාරයට ගියේය.

පළමු තරග‍යට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක හා වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර දෙවැනි තරගයට එක් වූවේය. එමෙන්ම පළමු තරගයට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබිණි. ටොඩ් මර්ෆි වෙනුවට ඔස්ට්‍රේලියානු පිලට 21 හැවිරිදි කූපර් ‍ කොනොලි මේ තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගැනීම විශේෂත්වයකි.

අද තරගයේ දෙවැනි දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT