Home » ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙක් ගිනි අවියක් සමඟ අතුරුදන් – රටිනුත් පළා ගිහිං

ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙක් ගිනි අවියක් සමඟ අතුරුදන් – රටිනුත් පළා ගිහිං

by chanaka
February 9, 2025 1:20 pm 0 comment

ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවිය රැගෙන මාර්ග බාධක රාජකාරියට යන බව පවසා පොලිස් ස්ථානයෙන් පිටව යමින් රටින්ද පළාගොස් ඇත.

මෙම නිලධාරියා අනුරාධපුරයේ සිට පොලිස් සේවයට එක්වූ වෙකි. වසර 03ක සේවා කාලයක් ඇති ඔහු තවමත් ආධුනික සේවා කාලය අවසන්කර නැති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඊයේ දින සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ඔහුව යොදවා තිබී ඇත්තේ මාර්ග බාධක රාජකාරි සඳහාය. ඔහු සවස 5.30ට පමණ සේවයට වාර්තාකර ගිනි අවිය රැගෙන පොලිස් ස්ථානයෙන් පිටත්ව ඇත්තේ රාජකාරි ස්ථානයට යන බව සඳහන් කරමිනි.

එහෙත් ඔහු රාජකාරි ස්ථානයට නොගොස් ඊයේ රාත්‍රී කාලයේදීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඩුබායි බලා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම නිලධාරියා මෝටර් රථයක නැගී කටුනායකට පැමිණ ඇති බවට තොරතුරුද හෙළිවී ඇත.

පොලිස් ස්ථානයෙන් ඔහු පිටත්ව ගොස් ඇත්තේ නිල ඇදුමිනි. ගුවන්තොටුපොලට ඇතුළු වී ඇත්තේ සිවිල් ඇදුමකිනි. නිල ඇදුම සහ ගිනි අවියට වූ දෙයක් මේ වන විට සොයා ගැනීමට නැත. ගිනි අවිය සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT