Home » වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනට අගමැතිනිය මට්ටක්කුලියේදි එක්වෙයි

වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනට අගමැතිනිය මට්ටක්කුලියේදි එක්වෙයි

-රටවටා කි.මී. 1740ක් වෙරළ තීරය පිරිසුදු කිරීම ස්ථාන 124කදී

by sachintha
February 10, 2025 3:33 am 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ශිෂ්ට සම්පන්න ජීවිත ගත කිරීමට ඇති බාධා ඉවත් කෙරෙනවාඅගමැතිනි හරිනි අමරසූරිය

ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කිරීමට තිබෙන බාධා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන (ශ්‍රී ලංකාව පිරිසිදු කරමු) හැඳින්විය හැකි යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.

මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට ඊයේ (09) එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

මෙම වැඩසටහනට සමඟාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙරවරු 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක කළ අතර රට පුරා කිලෝමීටර් 1,740ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේද පැවැසූවාය.

clean sri lanka වැඩසටහනේ අරමුණ සුද්ධ පවිත්‍ර කිරීම පමණක් නෙමෙයි. ඒක පිටිපස්සේ විශාල අර්ථයක් තියෙනවා. අපේ පරිසරය විතරක් නෙමෙයි. අපේ හිතේ තියෙන අපවිත්‍රභාවයේ ඉඳන් ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන එකත් මේ ව්‍යාපෘතියේ කොටසක්.

මේ රටේ ජනතාව විශාල සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා. ඒක දේශපාලන පරිවර්තනයක් වගේම සමාජීය පරිවර්තනයක්. ඒ පරිවර්තනය ආණ්ඩුවට තනියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. ඒක සාමූහික ක්‍රියාවලියක්. අපේ ගෙදර, ගම, පාර, කඩමණ්ඩියේ සිට මේ පරිවර්තනය සිදුවිය යුතුයි. මේකට විශාල ජනතා සහභාගිත්වයක් අවශ්‍යයි. අපි මෙතන සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අපේ නිල තනතුරු ගැන හිතලා නෙවෙයි. මේ රටේ පුරවැසියන් හැටියටයි. කොළඹ දිස්ත්‍රික්කයේ පුරවැසියන් හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන් තැනක් අපි නිර්මාණය කරගන්න ඕන. ආරක්ෂාව, අධ්‍යාපනය, පිරිසිදුකම, සාධාරණය මේ සියල්ල අපේ ජීවිතවලට අවශ්‍යයි. ක්ලීන් ශ්‍රී ලංකා (ශ්‍රී ලංකාව පිරිසිදු කරමු) වැඩසටහන තුළින් ජනතාව බලාපොරොත්තු වන පරිවර්තනය සිදු කිරීමට සියලු දෙනා එකතු වෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, කොළඹ නගර සභා අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න කුමාර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ගම්වාසීන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

ඡායාරූපය – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT