අරගල සමයේ ගිනි තැබීම් සහ පහරදීම් හේතුවෙන් නිවාස හා දේපොළවලට සිදු වූ හානි වෙනුවෙන් හිටපු මැති ඇමැතිවරු 43 දෙනකු වන්දි ලබාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඇතැම් මැති ඇමැතිවරු රජයෙන් වන්දි ලබා ගැනීමට අමතරව රක්ෂණ සමාගම් මඟින් ද මුදල් ලබාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් වන්දි ලබාගත් මැති ඇමැතිවරු 43 දෙනා අතරින් රක්ෂණයෙන් ද මුදල් ලබාගත් අය කවුරුන් ද යන්න අදාළ සමාගම් රටට හෙළිදරව් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (08) එක්වූ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද පැවසුවේය. මෙම වන්දි තක්සේරු කරන කාලයේ දී එවකට ආණ්ඩු පක්ෂයේ සිටි ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ ලිපියකට අනුව ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු සහ තක්සේරු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳෙව්වා. වැඩියෙන් හානි තක්සේරු කරන්න කියලා තමන්ට බලපෑම් තිබෙන බව ඒකට සහභාගි වූ ඇතැම් නිලධාරීන් මාධ්‍යයට කියලා තිබුණා. අපේ රටේ තිබෙන නීති-රීතී චක්‍රලේඛ ප්‍රකාරව සාමාන්‍ය කෙනකුට ස්වාභාවික විපතකදී වන්දියක් ලබාගන්නත් සෑහෙන දුෂ්කරතාවක් තිබෙනවා. 2020 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව ස්වාභාවික ආපදාවකදී පූර්ණ වශයෙන් හානි වූ දේපොළක් වෙනුවෙන් කෙනකුට ලැබෙන උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25 යි. ඒක ගන්නත් හරිම අමාරුයි.
එවැනි පසුබිමක මේ ආකාරයට දේපොළවලට හානි වූ අයට වන්දි ලබා ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොතිබුණු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා ඒ නීති-රීති වෙනස් කර තමන්ට හිතවත්ව කටයුතු කරන මැති ඇමැතිවරුන්ට වුවමනා තරම් වන්දි ගන්න ක්‍රමයක් හදලා දුන්නා. මේ හෙළිදරව් කළ මැතිඇමැතිවරු 43 දෙනා රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 980 දක්වා වන්දි අරන් තිබෙනවා. දැන් කතාවක් යනවා මේ අය වන්දි පමණක් නොව රක්ෂණයත් අරන් තිබෙනවා කියලා. ඒක අනාගතයේ දී හෙළිදරව් වේවි. මේ රක්ෂණ සමාගම් රටට කියන්න ඕන හෙළිදරව් කර තිබෙන නාම ලේඛයේ සිටින අයගෙන් රක්ෂණයත් ලබාගෙන තිබෙන්නේ කවුද කියලා. මේ අයගේ නිශ්චල හා චංචල දේපොළ වටිනාකම රුපියල් ලක්ෂ 700ක් 800ක් වෙනවා නම් ඒ දේපොළ සම්බන්ධව වත්කම් බැරකම් ප්‍රකාශ මඟින් ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය යුතුයි. මේ නිසා ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල බලන්න මේවා ඇතුළත් ද කියලා බලන්න ඕනකම තිබෙනවා.
වැඩිපුර වන්දි ලබා ගැනීම සඳහා මැණික්, ස්වර්ණාභරණ වගේ දේවල් තමන් සතුව තිබුණා කියලා ලේඛනවලට ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ අයත් ඉන්නවා කියලා අපිට දැන් තැන් තැන්වලින් ආරංචි ලැබෙනවා. වන්දි ගත්ත මැති ඇමැතිවරු සිටින ප්‍රදේශවල ජීවත්වන ජනතාවත් අපිට කතා කරලා ඒ ගෙදර නම් ජනෙල් දෙකයි කැඩිලා තිබුණේ කොහොමද මේ වගේ වන්දියක් ගත්තේ කියලා අහනවා. තමන් ගේ පාක්ෂිකයාව බේරේ වැවේ ගිල්වලා මේ මැති ඇමැතිවරු වන්දි සාගරේ පීන පීන නාලා තිබෙන බව තමයි පේන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න. කත්සේරුවල නිවැරදි භාවයත් සොයා බැලිය යුතුයි. සමහරු කියනවා තමන්ගේ නිෙවසේ ඓතිහාසික වටිනාකම තක්සේරුවට එකතු වෙලා නැහැ කියලා. අපි කැමතියි වන්දිගත්ත 43 දෙනාම කතා කරලා ලැබුණු වන්දි මුදල මදිද, තමන්ගේ ගෙවල්වල තිබුණ දේවල් මොනවාද කියලා රටට කියනවා නම්.
රටේ ජනතාවටත් තීරණයකට එන්න එය පහසුවක් වේවි. මේ අය මෙතරම් විශාල දේපොළක් රැස්කර ගත්තේ කොහොම ද කියලා හොයලා බලන්න අල්ලස් කොමිසමටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා . ඒ වෙලාවේ පැවැති මහජන අරගලයට ජනතාව විටින් විට සම්බන්ධ වුණා. ඒ දේශපාලන පක්ෂ ලෙස නොවෙයි. මේ රට පාලනය කළ දේශපාලනඥයෝ කරපු වැඩවලින් උපයා ගත්ත දේවල්වලට තමයි ජනතාවගේ විරෝධය මතුවුණේ. ගෙවල්වලට ගිනි තියපු එක පුද්ගලයන්ට අඩන්තේට්ටම කරපු එක අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ අය දේපොළ හානියට වඩා විශාල වන්දියක් ලබාගෙන තිබෙන බව තමයි පේන්න තිබෙන්නේ. තමන්ට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිකම ලබා දුන්නට සහ පසුගිය ජනපතිවරණයේදී තමන් එක්ක හිටියට රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ මුදල් යොදාගෙන මැති ඇමැතිවරු පිරිසකට දුන්න අල්ලසක් ලෙස තමයි මේක හැඳින්වීමට පුළුවන් වෙන්නේ.
අසේල කුරුළුවංශ