Home » විදුලිබල ඉංජිනේරු සංගමයත් බිඳ වැටීමට හේතු කියයි

විදුලිබල ඉංජිනේරු සංගමයත් බිඳ වැටීමට හේතු කියයි

by sachintha
February 10, 2025 3:21 am 0 comment

 

ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවට සාපේක්ෂව, අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්, ඊයේ (09) දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය එකවර බිඳ වැටීමට බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරයි.

නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඇතිවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, පානදුර විදුලි උපපොලේ කිලෝ වොට් 33 පෝෂක අංගණය (33 KV Bus Bar) ආශ්‍රිතව සිදු වූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාව අඩු මට්ටමක පැවැති ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිත වූ බවයි. ස්වයංක්‍රීය හදිසි බිඳ වැටුම් කළමනා කරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකි වීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව ද ඔවුන් පෙන්වා දෙයි.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහි දී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකිවූ බව ද ඔවුන් කියා සිටී.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේ දී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage)වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුල බල මණ්ඩලය හා බල ශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් පවතින බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කළ බවත් මේ සම්බන්ධයෙන් විවිධ වැරැදි මත සමාජ ගත කිරීමට ඇතැම් පාර්ශ්වයන් උත්සහා ගන්නා බවට පෙනී යන්නේ යැයිද ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT