Home » ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත අක්තපත්‍ර ප්‍රදානය කරයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත අක්තපත්‍ර ප්‍රදානය කරයි

by yasara
February 10, 2025 2:45 pm 0 comment

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය  ප්‍රදානය කිරීම පසුගියදා ලෙබනනයේ බීරුට් හී ජනාධිපති මන්දිරයේදී සිදුකෙරිණි.

වසර 3 කට පමණ පසුව ලෙබනනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මකවීම සහ ඊටසමගාමීව නව ජනාධිපතිවරයෙකු පත්වීම යන කාරණාවලින් අනතුරුව මෙම අක්ත පත්‍ර ප්‍රදානය කිරීම  විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත මෙහිදී පිරිනමන ලදී .

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වසර ගණනාවක් තිස්සේ පවතින දැඩි මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද ලෙබනන් ජනාධිපතිවරයා සහ ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සහ ලෙබනනයේ ජාතික ධජ ඔසවමින් දෙරටේම ජාතික ගීත වාදනය කරමින් මහත් අභිමානවත් ලෙස මෙම අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සනත් බාලසූරිය,තෙවැනි ලේකම් ප්‍රියංකා දිසානායක මහත්ම මහත්මීහු සහ ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT