බදුල්ල නගරයේ සායන මාර්ගයේ දී තියුණු ආයුධයකින් ඇන බදුල්ල – කොළඹ පෞද්ගලික බස්රථ රියැදුරකු ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු සහ බස්රථ රියැදුරකු මේ මස 21 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා පෙරේදා (8) නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූයේ බදුල්ල – කොළඹ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන හල්දුම්මුල්ල, බෙලිහුල්ඔය, පඹහින්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි විජේකුමාර පැතුම් සුරංග සහ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියැදුරකු වන රත්නපුර, හිදැල්ලන, හුනුකැටපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි හේවාලන්දගේ ඉන්ද්‍රජිත් ඩයස් යන දෙදෙනා යි.
බදුල්ල – කොළඹ පෞද්ගලික බස්රථ රියැදුරකු ලෙස සේවය කළ බෙලිහුල්ඔය, පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි එස්.එස්. සුජීව සම්පත් නමැති තිදරු පියකු මෙසේ තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇත.
මෙම ඝාතනයට ලක්වූ පෞද්ගලික බස්රථ රියැදුරු සහ සැකකාර පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයා එකම බස්රථයේ දෙදෙනා එකට සේවය කර ඇති බව ද පොලීසිය පවසයි.
මොවුන් සේවය කරන පෞද්ගලික බස්රථයට ඉකුත් 6 වැනිදා නිවාඩු දිනයක් වූ හෙයින් දෙදෙනා බස් රථයේ අඩුපාඩු සකස් කර අලුත්වැඩියා කටයුතු සිදු කර එම කටයුතු නිමකර එදින රාත්‍රියේ මත්පැන් පානය කිරීමට සැකකාර සෙසු පෞද්ගලික බස්රථ රියැදුරු සමඟ බදුල්ල සායන මාර්ගයේ පිහිටි අවන්හලකට ගොස් ඇතැයි පොලීසිය පවසයි.
තිදෙනා මත්පැන් පානය කර අවසන් වී අවන්හලෙන් රාත්‍රියේ පිටවී නිෙවස කරා යෑමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ වෙත බදුල්ල සේනානායක පිටිය අසල සායන මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී ඝාතනයට ලක්වූ පෞද්ගලික බස්රථ රියැදුරු තනිව ඒ අසල මත්පැන්හලකට බීර ටින් එකක් මිලදී ගැනීමට ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මේ අවස්ථාවේ සැකකාර පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයා බදුල්ල නගරය දෙසට ගොස් ඇති බවත්, මත්පැන්හලට ගිය රියැදුරු බීර ටින් එකක් මිලදී ගෙන යළි සායන මාර්ගය දෙසට එන අතරතුරේ සැකකාර කොන්දොස්තරවරයා යළි සායන මාර්ගය දෙසට පැමිණ පසුව මෙසේ තියුණු ආයුධයකින් පෞද්ගලික බස්රථ රියැදුරුට ඇන ඇති බවත් පොලීසිය පැවසීය.
තියුණු ආයුධයකින් ඇනීමෙන් පපුවට සිදු වූ බරපතළ තුවාල සහිතව සායනය මාර්ගය අසල පදික වේදිකාවේ ඇදවැටුණ තුවාලකරුගේ පිට ප්‍රදේශයට ද තියුණු ආයුධයකින් ඇන ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියේය.
අනතුරුව සැකකාර බස්රථ කොන්දොස්තරවරයා සහ සැකකාර බස්රථ රියැදුරු නිවෙස් කරා යාමට බදුල්ල නගරයේ බස්රථ නැවතුම්පොළේ රැඳී සිටියදී ක්ෂණිකව අත්අඩංගුවට ගත් බවත්, ඒ වනවිටත් සැකකාර බස්රථ කොන්දොස්තරවරයා ඇඳ සිටි කලිසමේ ලේ පැල්ලම් කිහිපයක් සටහන් වී තිබූ අතර, ඔහු එම ලේ පැල්ලම් රතුපාට පෑනකින් ඇද මකා දැමීමට උත්සහ කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
සැකකාර පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයා අත තැවරී තිබූ ලේ පැල්ලම් බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ පොදු වැසිකිළියට ගොස් සෝදා ගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වුණැයි පොලීසිය පවසයි.
මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්. සත්‍යමූර්ති මහතා, බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මෘත දේහය සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් කර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර ඇත.
මෙම මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා සිදු කර අධිකරණයට කරුණු, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් එස්. සත්‍යමූර්ති මහතා පොලීසියට නියම කර ඇත.
බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඇම්.කේ.බී.විජේතුංග මහතා මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ දී සිදු කළ අතර තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට එම වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය විණැයි පොලීසිය සඳහන් කළේය.
සොරණාතොට සමූහ – සී.ගමගේ
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන