තායිලන්තය, ලාඕසය හා මියන්මාරය යන රටවල ආරණ්‍යවාසීව වැඩවසන ස්වාමීන් වහන්සේලා පනස් නමක් අද දින සිට දින තිහක් පුරා නාගදීපයට පා ගමනින් වැඩම කිරීමේ පාද චාරිකාවක් ඉකුත් 07 වැනිදා උදෑසන 7.00ට ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළහ. තිස්සමහාරාම මහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන ස්වාමීන් වහන්සේ ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස සිට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව පා ගමන් ආරම්භ කළ අතර පා ගමනින් වැඩම කරන මහා සංඝරත්නයට පිරිකර පූජා කරමින් වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
මොනරාගල, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, වවුනියාව, මුලතිව් හරහා යාපනය යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන මාර්ගය ඔස්සේ මහා සංඝරත්නය පා ගමනින් වැඩම කරන බැවින් මෙම දුර්ලභ අවස්ථාවට සහභාගි වී ගරුබුහුමන් දක්වා සිත් සතන් පිනවමින් පින් වර්ධනය කර ගන්නා ලෙස සාම පා ගමන ආරම්භ කරමින් අමරපුර මහානිකායේ මහා ලේඛකාධිකාරි සිරි සීවලී ස්වාමීන් වහන්සේ සඳහන් කළහ. ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය හා ලාඕසය යන රටවල ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සාමය, දයාව, අනුකම්පාව, කරුණාවේ පණිවිඩය පතුරවමින් ලෝකවාසීන්ට සෙත් පතා උතුර – දකුණ යාකරමින් තිස්සමහාරාම රජමහා විහාරයේ සිට උතුරේ ඓතිහාසික නාගදීප විහාරස්ථානය දක්වා දින තිහක් පුරා ස්වාමීන් වහන්සේලා හැටනමක් පා ගමනින් වැඩම කිරීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළහ.
පා ගමනේ අවසාන දින තෙක් නවාතැන් ගැනීම විහාරස්ථානවල සිදු කරන බවත්, ගිමන් හැරීම ගස්, ගල් යට සිදුකරන බවත් දායක සභාව සඳහන් කළහ.
තිස්සමහරාම
අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු
අම්බලන්තොට සමූහ
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි