සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස්වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලීසිය විසින් පෙරේදා (08) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසයි.
ඉකුත් 07 වැනිදා කොටහේන පොලිස් වසමෙන් සොරකම් කරන ලද රු ලක්ෂ 14ක් පමණ වටිනා අලුත් ත්‍රිරෝද රථයක් හැටන්, ඩන්බාර් ප්‍රදේශයට රැගෙනවිත් කොටස් වශයෙන් අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථය කොටස් කරන බවට ලද තොරතුරක් මත හැටන් පොලීසියේ පාලන අංශයේ නිලධාරීන් වැටලීමක් කර ත්‍රිරෝද රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ එහි ලියාපදිංචි අංකය ත්‍රිරෝද රථය කොටස් කරමින් තිබූ ගරාජයේ සඟවා තිබූ බවත්, සැකකරුවන් සන්තකයේ හොරොයින් මත්ද්‍රව්‍ය ග්රැම් 08යි, මිලිග්රැම් 740 ක්ද තිබී හමු වූ බවත් පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථය සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි අයිතිකරු විසින් කොටහේන පොලීසියට පැමිණිල්ලක් ද කර තිබූ බවත්, ත්‍රිරෝද රථය සොරකම් කිරීම සඳහා සැකකරුවන් ගමන් කළ ත්‍රිරෝද රථය ද පොලිස් අත්අඩංගුවට ගත් බවත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේම පදිංචි අවු 25 – 30 යන වයස් කාණ්ඩයේ පසුවන අය බවත්, සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ අය බවත්, සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේය.
හැටන් – රංජිත් රාජපක්ෂ