Home » අසලංක එස්එස්සී බලාපොරොත්තු ඉහළ දමයි

අසලංක එස්එස්සී බලාපොරොත්තු ඉහළ දමයි

by sachintha
February 10, 2025 1:49 am 0 comment

නායක චරිත් අසලංකගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ සිය පළමු පූර්ණ ජය වාර්තා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය ඊයේ (9) සමත් විය.

එස්එස්සී පිටියේදී ටැමිල් යූනියන් පිල ඉනිමකින් සහ ලකුණු 10කින් පරාජය කරමින් සිය පළමු ජය සටහන් කළ ද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයෙන් ඉහළට යෑමට හැකියාවක් නොලැබිණි.

‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ සිට පසුගිය සතියේ පියවරක් ඉහළට පැමිණීමට එස්එස්සී පිලට හැකි වූ අතර, මෙවර එම ස්ථානයේම රැඳී සිටියි. තරගාවලිය නිමා වනවිට එම කාණ්ඩයේ 9 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමට පළමු පෙළ තරගාවලිය අහිමි වන අතර, මේ හේතුවෙන් එස්එස්සී පිල ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ඒමට දැඩි සටනක නිරතවී සිටින අතර, ඔවුන්ට මෙවර තරගාවලිය යටතේ තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණි.

තරගයේ පළමු පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පළමු ඉනිම ලකුණු 320කින් නතර කළ එස්එස්සී ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 533කට අත්හිටුවූයේ කඩුලු 7ක් පමණක් දැවී තිබියදීය. ලකුණු 213ක් පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරඹූ ටැමිල් යූනියන් පිලට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 203ක් පමණි.

මේ තරගයේදී එස්එස්සී පිල වෙනුවෙන් චරිත් අසලංක (128) සමඟ ෂෙවෝන් ඩැනියෙල් (142) සහ නුවනිඳු ප්‍රනාන්දු (110) ශතක වාර්තා කළ අතර, ටැමිල් යූනියන් පිල වෙනුවෙන් සඳුන් වීරක්කොඩි ශතකයක් (127) වාර්තා කළේය.

සිය පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ටැමිල් යූනියන් පළමු ඉනිමේදී ලකුණු 112කට කඩුලු 6ක් දවාගත් අසලංක තරගය පුරා ලකුණු 205කට කඩුලු 10ක් බිඳ දැම්මේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීම සටහන් කර ගනිමිනි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT