“අනාගතයේ ලොව කිසිදු රටක තත්පර තුනකට වඩා වැඩි කාලයක් විදුලිය ඇනහිට නොපවතිනු ඇත” යැයි ලියූවේ ආතර් සී. ක්ලාක් ය. ස්වකීය 2001 විද්‍යා ප්‍රබන්ධයේ අනාගත ලෝකය පිළිබඳ තාක්ෂණික විද්‍යාත්මක පුරෝකථනයක් ඔහු ඉදිරිපත් කර තිබුණේ ඒ ආකාරයටය.
“ඇදෙන හැම විදුලිය රැහැනක ම ඇත්තේ සංවර්ධනයේ මාවත ය,” යි ලියූවේ ලෙනින් ය. එහි අදහස වූයේ විදුලිය සමඟ සංවර්ධනය එකිනෙක බැඳී ඇති බවයි. විදුලිය ව්‍යාප්තියත් සමඟ කර්මාන්ත ස්ථානගත වීම, ව්‍යාපාරික ලෝකය දියුණු වීම ඇතුළු කරුණු රැසක් ඒම ප්‍රකාශයේ අන්තර්ගතව පවතී.
විදුලිය බලය සහ එහි අවශ්‍යතාව පිළිබඳ මාතෘකාව යළිත් කරළියට පැමිණියේ පෙරේදා රට පුරා සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙනි. රට පුරා විදුලිය පද්ධතිය බිඳ වැටීම යනු ඉතා බරපතළ, සංවේදී දේශපාලනික කාරණයකි.
විදුලිය බල පද්ධතියක් බිඳ වැටීම සාමාන්‍ය කාරණයකි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ විදුලිබල අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් නිකුත් කරන ලද නිවේදනවල සඳහන් වූයේ ගෙවුණු කාලසීමාවන්හි පැවති සැලසුම් රහිත අදූරදර්ශි වැඩපිළිවෙළ නිසා විදුලිය පද්ධතිය බිඳ වැටුණු බවයි. රටේ අනාගත අවශ්‍යතාවලට සරිලන පරිදි විදුලි පරිභෝජනය පුරෝකථනය කොට නැති බව එහි සරල අදහසය.
ශ්‍රී ලංකාවේ විදුලිය බල උත්පාදනය සඳහා මූලික ප්‍රභව තුනක් භාවිත කෙරේ. තාප විදුලිය, ජල විදුලිය සහ අනෙකුත් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය මේ මූලික ප්‍රභව තුන වෙයි.
තාප විදුලිය යන්නට ජෛව ස්කන්ධය, ගල් අඟුරු සහ සෙසු සියලු ඉන්ධන ප්‍රභවවලින් ගැනෙන ශක්තිය අඩංගු වෙයි. ජල විදුලිය නිෂ්පාදනය යනු ජල විදුලි බලාගාර ඔස්සේ විදුලිය නිෂ්පාදනය කිරීමයි. සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය යන්නට අයත් වෙයි. සමස්ත විදුලිය පද්ධතියක් බිඳ වැටුණු විට මේ සෑම ක්ෂේත්‍රයකින් ම නිපදවනු ලබන විදුලිය බිඳ වැටීමකට ලක් වේ.
අප රටේ සමස්ත විදුලිය බල ධාරිතාවෙන් 45%ක පමණ කොටසක් නිපදවනු ලබන්නේ ජල විදුලියෙනි. තාප විදුලි බලාගාරවලින් ද මෙරට විදුලි බල අවශ්‍යතාවෙන් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය කෙරේ. නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීමට ලක් වූ විට රටේ සමස්ත විදුලි පද්ධතියෙන් සැලකිය යුතු කොටසක් බිඳ වැටෙන්නේ ඒ හේතුවෙනි.
සූර්ය බලයෙන් විදුලිය බලය උත්පාදනය වීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු ව ඇත්තේ ඉතා මෑත කාලයේදීය. සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කරවන සූර්ය විදුලි බලාගාර මීට උදාහරණ වෙයි.
ආසන්නතම විදුලි බිඳ වැටීමට හේතුව මේ අනුව අවබෝධ කොට ගනිමු. එහිදී සිදුව ඇත්තේ අඩු විදුලිය ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් සූර්ය විදුලි බලයෙන් සපයා ගැනීමට යෑම නිසා පද්ධතිය බිඳ වැටීමයි.
මහජන උපයෝගිතා කොමිසම විසින් ද 2025 -2044 දක්වා වන දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ අදහස් විමසීමක් ද සිදු කොට තිබේ. රටේ වැඩිවන විදුලි ඉල්ලුමට සාපේක්ෂව විදුලිය ජනන සැලැස්ම සකස් කිරීමේදී පැවති දේශපාලන බල අධිකාරිය විසින් විදුලි පුරෝකථන අවශ්‍යතාවලට පරිබාහිරව හිතුමතේ කටයුතු කර ඇති බව එල්ල වූ චෝදනාව වෙයි. එවැනි අවස්ථාවක මෙවැනි අර්බුදකාරි තත්ත්වයන් පැන නැඟිය හැකිය.
2022 වසරේ දවසේ පැය 16ක පමණ කාලසීමාවක් විදුලිය කප්පාදුවක සිටි බව අපට මතකය. රටේ සමස්ත ජාතික නිෂ්පාදන පද්ධතිය ඒ නිසා බිඳ වැටීමකට ද ලක් විය. ඊට අමතරව, විටින් විට රට පුරා දැවැන්ත විදුලිය බිඳ වැටීම් සිදු වූ බව අමතක කළ යුතු නැත. වඩාත් වැදගත් වන්නේ එවැනි හදිසි ආපදා අවස්ථාවකදී කළමනාකරණය කර ගත හැකි මට්ටමකින් පද්ධතිය පවත්වා ගෙන යෑමයි. අර්බුදය කළමනාකරණය කර ගතහැක්කේ එවිටය.
අනවශ්‍ය විදුලිය බුබුළු නිවා දැමීම, දිනකට පැය කිහිපයක් විදුලිය කප්පාදුව වැනි අතීතයක් අප පසු කර ආ බව බොහෝ දෙනකුට අමතකය.
විදුලිය ඉල්ලුමේ සාපේක්ෂ වර්ධනය සැලකිල්ලට ගෙන, ඉදිරි දශක දෙකට අදාළව ඉදිරිපත් කොට ඇති විදුලිය ජනන සැලසුම් ප්‍රමාණවත් ද යන්න දැන්වත් විමසිල්ලට ලක් කළ යුතුය. එපමණක් නොව, ඒ සඳහා වන ජාතික සැලසුම් ද ක්‍රියාවට නැංවිය යුතුය. රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට ද මෙය හේතුවක් වනු ඇත.
ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධයේ උපකල්පනය ශ්‍රී ලංකාවට අදාළව සාර්ථක වීමට තවත් බොහෝ කලක් ගත වනු ඇත. එහෙත් ලෙනින්ගේ ප්‍රකාශයේ උද්ධෘතය පරිදි සංවර්ධනයේ මාවත සහ විදුලිය බලය අතර ඇති බැඳීම එකිනෙකින් වෙන් කළ නොහැකි තරම් ය.
එබැවින් වර්තමාන අර්බුද කඩිනමින් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ ඔස්සේ අනාගත විදුලි අවශ්‍යතා පිළිබඳ සැලසුම් සකස් කිරීම ද කඩිනමින් කළ යුතුය.
එසේ නොවුණහොත්: මේ ආකාරයට රට පුරා විදුලිය බිඳ වැටීම් සිදු වන විට කරන්ට් වදින්නේ ජනතාවට බව අප සියලුදෙනාම තේරුම් ගත යුතුව ඇති සත්‍යයක් වනු ඇත.