Sunday, May 11, 2025
Home » ජාතික වගකීමක් සේ සලකා වී අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන්න

ජාතික වගකීමක් සේ සලකා වී අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන්න

-වී අලෙවි මණ්ඩලයේ සභාපති

by sachintha
February 11, 2025 12:12 am 0 comment

ජාතික වගකීමක් සේ සලකා තම වී අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන්නැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඉදිරියේදී යම් සහල් අර්බුදයක් මතුවුවහොත් එම වී තොග ඒ සඳහා භාවිත කළ හැකි බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 166ක් ඒ සඳහා විවෘත කර ඇති බවත් අවධාරණය කරන සභාපති පින්නලන්ද මහතා පවසන්නේ ගොවීන් තම වී අස්වැන්නෙන් යම් කොටසක් වී අලෙවි මණ්ඩලයට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වී අලෙවි මණ්ඩලය පසුගිය කාලයේ අතපය බැඳ දමා තිබූ ආයතනයක් බවත් එම නිසා වී මිලදී ගැනීමේදී පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට සම්පත් එම ආයතනය සතු නොවන බවත් පෙන්වා දෙන සභාපතිවරයා අවධාරණය කළේ 2000 වසරේ සිට මෙම ආයතනයට ප්‍රමාණවත් පහසුකම් ලබා දී නොමැති බවයි.

මේ අතර පසුගිය 07දා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ මිල තීරණය වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නිෂ්පාදන වියදම පදනම් කරගෙන කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කළ කමිටුවක් විසින් බවයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා, ජාතික පසුඅස්වනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ සභාපතිවරයා, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සැලසුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා සහ සහකාර අධ්‍යක්ෂවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) එම කමිටුවට අයත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගණනය කිරීම්වලට අනුව වී කිලෝවක් සඳහා නිෂ්පාදන වියදම රුපියල් 60-100ත් අතර වේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT