මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් රජයේ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ කර තිබේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණය මඟින් ලබාදී තිබෙන තීන්දුව ප්‍රකාරව පෙර ලබාගත් නාමයෝජනා අනුව හෝ යළි නාමයෝජනා අලුතින් කැඳවා හෝ මැතිවරණය පවත්වන අවස්ථාවක මෙම පුහුණුව ලබන නිලධාරීන් මඟින් අපේක්ෂකයන් දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති පුහුණු වැඩමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පැවසුවේය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත වී තිබෙනවා. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී මේක ක්‍රියාත්මක වුණා. ජනාධිපතිවරණයේදී මේ පනත පදනම් කර ගනිමින් 13 දෙනෙකුට නඩු පවරන්න අපට සිදු වුණා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී 1064 දෙනෙකුට නඩු පැවරුවා. නඩු පවරන්න අපට අවශ්‍යය නැහැ. අපට අවශ්‍යය වෙන්නේ අපේක්ෂකයන් හා දේශාපලන පක්ෂ මේ නීතියට අනුගතව කටයුතු කිරීම පමණයි.
මේ පනත සම්බන්ධව නිලධාරීන් දැනුම්වත් කර ඔවුන් මඟින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරනු ලබන දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට අවබෝධයක් ලබාදීම අපේ අරමුණයි. ඇත්තටම අපි මෙහිදී අපේක්ෂා කරන්නේ පනතට අනුගතව කටයුතු කිරීම පිළිබඳව පක්ෂවලට හා අපේක්ෂකයන්ට දැනුම්වත් භාවයක් ලබාදීමයි. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 86ක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන නිසා අලුතින් දේශපාලන පක්ෂ සඳහා ලියාපදිංචිය ලබාදීම නීත්‍යනුකූලව නතර කර තිබෙනවා.
අසේල කුරුළුවංශ