Sunday, May 11, 2025
Home » T-56 අරන් පැන්න ආධුනික PC රට යන්න කලින් පෙම්වතියත් මුණගැහිලා

T-56 අරන් පැන්න ආධුනික PC රට යන්න කලින් පෙම්වතියත් මුණගැහිලා

by sachintha
February 11, 2025 12:13 am 0 comment

පොලිසියේ ටී 56 ගිනි අවියක් අතුරුදන් කර රටින් පැන ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා පලායාමට පෙර රාත්‍රී සමාජ ශාලාවක සේවයේ නිරත සිය පෙම්වතියද මුණගැසී ඇති බවට තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ. විවහාක කාන්තාවක් වන ඇය අත්තිඩියේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඇය ඇහැලියගොඩ පදිංචිකාරිනියක බවත් විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා අත්තිඩියේ පිහිටි පොලිස් බැරක්කයේ සිට දෛනිකව සේවයට වාර්තා කර ඇති බවත් ඔහු සමඟ එකට එම බැරක්කයේ සිටි කොස්තාපල්වරු දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර හසුවී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙක් පලාගොස් ඇති බවත් අනෙත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවත් සඳහන්ය. එම සිදුවීමත් සමඟ අසනීප නිවාඩු ලබා දින කිහිපයක්ම මෙම ආධුනික කොස්තාපල්වරයා ද පොලිස් සේවයට වාර්තා කර නැති බවටද තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම නිලධාරියා අයිස් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැහැදිලි තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

අනුරාධපුර පේමඩුව හැලඔගස් වැව පදිංචිකරුවෙක් වන ජේ.ඒ.කේ.ටී. ජයකොඩි (100430) නැමැති මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ටී 56 අවිය ද රැගෙන පොලිසියෙන් පලාගොස් ඇත්තේ පසුගිය 08 වෙනිදා සවස් කාලයේදීය.

රාජකාරියට වාර්තා කරමින් ගිනි අවිය රැගෙන පොලිස් ස්ථානයෙන් යතුරුපැදියක නැඟී අත්තිඩිය පොලිස් භට නිවාස වෙත ගමන් කරන ඔහු සිවිල් ඇඳුමකින් සැරසී එම ස්ථානයෙන් පිටව ඇත්තේ සවස 6.30ට පමණ බව පෙනී ගොස් ඇත. මෙම සැකකරු සිය පෙම්වතිය මුණගැසී ඇත්තේ අනතුරුවය. ගිනි අවිය අස්ථානගත කර ඇත්තේ ඒ අතර තුරදී බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. අත්තිඩියේ සිට කුලී රථයකින් රාත්‍රී 9.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ඔහු ඩුබායි බලා පියාසර කළ ගුවන් යානයේ නැඟී මෙරටින් පිටත්ව ඇත්තේ රාත්‍රී 10.15ට පමණය.

මෙම සැකකරු තමා රටින් යන බව විටෙන් විට පවසමින් සිට ඇති බව ඔහු සමඟ බැරක්කයේ එකට සිටින නිලධාරීන් කිහිපදෙනෙකුම උසස් පොලිස් නිලධාරීන්ට පවසා ඇත. මේ ආකාරයට ඔහු ගිනි අවියක් ද අස්ථානගත කරමින් පලායනු ඇතැයි කිසිවෙකුගේත් සැකයට ලක්ව නැත.

මෙම සැකකරු පොලිස් සේවයට එක්ව ඇත්තේ වසර 03කට පෙර බවත් තවමත් ඔහු ආධුනික සේවා කාලය ගත කරන නිලධාරියෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. මෙම නිලධාරියා යම් අපරාධ කල්ලියක් සමඟ සම්බන්ධකම් පවත්වා තිබේද? එම අපරාධ කල්ලිය අතට ටී 56 පත්කර රටින් පැනගත්තේද? යන සැකයන් ඔස්සේ විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ටී 56 සහ පතරොම් 30 සොයා පොලිස් කණ්ඩායම් 04ක් මේ වන විට විමර්ශන පවත්වන බව පොලීසිය කියයි. පලාගිය පොලිස් කොස්තාපල්වරයා නීතියේ රැහැනට හසුකරගෙන මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසිය මගින් කටයු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT