ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (Prosecutor’s Office) ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ජාතික ජනබලවේගයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සිදු කෙරෙනු ඇත.
මෙහි මූලික පියවරක් ලෙස විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුවට නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයන් දෙදෙනකු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයකු ඇතුළත් වෙයි. යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සිදු කරනු ඇත. එහි මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම සිදු කිරීමට කටයුතු කිරීමට ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
බුද්ධිකා ඉඹුලාන සහ චන්දන ජයවීර