වසර 2023දී පිහිටුවනු ලැබූ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ කාර්යසාධක බළකාය වඩාත් ශක්තිමත් කර ඒ සඳහා රජයේ සහාය වැඩි වශයෙන් ලබාදීමේ අරමුණෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඇමැති මණ්ඩල නියෝජනයක් සහිතව ඉහළ පෙළේ නව සයපුද්ගල කාර්යසාධක බළකායක් පත්කොට තිබේ.
ඒ අනුව ජනාධිපති නීතිඥ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඉහළ පෙළේ කමිටුවට අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර, කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු රජයේ පාර්ශ්වයෙන් පත්කොට ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනී නෙලුමනී දවුලගල, මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක අධ්යක්ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර යන මහත්ම මහත්මීහු ද මෙම කාර්යසාධක බළකායේ සාමාජිකයන් ලෙස පත්කොට තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුවේ පවතින දුර්වලතා නිවැරදි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමකදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම ඉහළ පෙළේ කාර්යසාධක බළකාය පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. මෙම දුර්වලතා මගහරවමින් ක්‍රියාකාරී සැලැස්මක් සහිතව ඵලදායී ලෙස මෙරටින් දූෂණය පිටුදැකීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට රජයේ ප්‍රධාන ආයතන 18ක නියෝජනයක් සහිතව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ද සකස් කර ඇත.
එම ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩකටයුතු සිදු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රේගුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මුදල් අමාත්‍යාංශ, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව යන අදාළ පාර්ශ්වය වෙත කාර්යසාධක බළකාය මඟින් දැනුම් දී තිබේ.
පසුගිය 29 වන දින පැවැති පළමු රැස්වීමේදී කාර්යසාධක බළකායේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් විසින් අන්‍යෝන්‍ය ඇගැයීමේ උපායමාර්ග වැදගත්කම ඉස්මතු කර තිබේ. මෙම තීරණාත්මක ඇගැයීමට සාර්ථකව මුහුණදීම සඳහා සෑම පාර්ශවයකම පූර්ණ සහයෝගිතාව ද ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව විසින් ත්රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට ගෝලීය නිර්දේශ 40ක් සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතා මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11ක් හරහා ඒවා ඵලදායීව ක්‍රියාත්මක කරන බව නුදුරු අනාගතයේදී පෙන්නුම් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජයසිරි මුණසිංහ