Sunday, May 11, 2025
Home » පදවිය-නාවාගස්වැව ගමට කනත්තක් නෑ

පදවිය-නාවාගස්වැව ගමට කනත්තක් නෑ

by sachintha
February 11, 2025 1:01 am 0 comment

රක්ෂිතයෙන් හෝ ඉඩමක් වෙන්කර දෙන්නැයි ගම්වැසියන්ගෙන් මැසිවිලි

ගමට යන පාරත් අබලන්

පදවිය, පුල්මුඩේ පාර, නාවාගස්වැව ගම්මානයේ ජීවත්වන පවුල් විසිතුනක ජනතාවට සුසාන භූමියක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි එම ගම්වාසීහු පවසති.

1956 වර්ෂයේ සිට මේ දක්වා වසර හැටනවයක ඉතිහාසයක් ඇති නාවාගස්වැව ගම්මානය, උතුරු මැද පළාතට අයත්, උතුරු නැ‍ඟෙනහිර මායිමේ පිහිටා තිබෙන අවසාන සිංහල ගම වන බවත්, මෙම ගමට සුසාන භූමියක් නොමැති වීමෙන් ගම හතර වටේම මළ සිරුරු වළ දැමීමට සිදුවී ඇති බවත් පවසන නාවාගස්වැව ගම්වැසියෝ, මෙය ඔවුන්ගේ මානව අයිතිවාසිකමක් අහිමි කිරීමක් බවට ද චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාවාගස්වැව පදිංචි බී.එම්. මිහිඳුපාල (45) මහතා මෙසේ පැවසීය.

අද වෙනකොට මේ ගමේ ජීවත් වෙන්නේ අපේ පස්වෙනි පරම්පරාව. ගමේ මිනිහෙක් මැරුණාම වළදාගන්ඩ තැනක් නෑ. අපි අපේ ගමට කනත්තක් ඉල්ලලා බලධාරීන්ට කොච්චර නම් කන්නලව් කෙරුවද? එතකොට නිලධාරීන් කියන්නේ, මේවා රක්ෂිත කැලෑ නිසා කොහොමද කනත්තකට වෙන් කරන්නේ කියලා. අපට නිලධාරීන් කනත්තක් වෙන් කරලා දුන්නේ නැතුවට, අපට පුළුවන්ද මළ මිනියකට නිගා කරන්න. ඒක නිසා අපි වතුවල කෙළවරකට වෙන්න වළක් හාරලා මිනිය මිහිදන් කරනවා. දැනට මිනී 14ක් 15ක් විතර ගම හතර වටේම අපේ වතුවල වළ දාලා තියෙනවා. ප්‍රජාශාලාව තියෙන්නේ ගම මැද. එතන තියෙන ඉඩමේ සොහොනක් බැඳලා තියෙන්නේ. ඒ මළ මිනියක් වළදාපු තැනක්. අපේ ගමට ආසන්නම තියෙන දළුග්ගල ගමේ මරණාධාර සමිතියට තමයි අපි බැඳිලා ඉන්නේ. ඒ ගමේ සුසාන භූමියට අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් පහක් දුරයි. බලන්න මහත්තයෝ, මිනියක අවසාන කටයුතු කරන්න පෙට්ටිය කරේ තියාගෙන අපි කොච්චර නම් දුරක් පයින් ඇවිදිමින් දුක් විඳිනවද. වර්ෂා කාලයක් වුණොත් ඒ දුක දෙගුණ වෙනවා. පහුගිය අවුරුදු හැටනවයටම දේශපාලකයෝ කීදෙනෙක් මේ ගමට ආවද. රජයකින් කියලා අපට කරලා තියෙන්නේ මොනවාද. අවුරුදු විසි දෙකකට උඩින් පාර භාගෙට හැදුවා. දැන් ඒ පාරේ ඉතුරු වෙලා තියෙන්නේ ගල් කැට විතරයි. 1994 අවුරුද්දේ ගමට ලයිට් දුන්නා. වැව භාගෙට හැදුවා. වැඩිය ඕන නෑ මහත්තයෝ, අපේ ගමේ මිනිහෙක් මැරුණාම මිනිය වළදා ගන්න අපට කනත්තකට ඉඩම් කෑල්ලක් වෙන් කරලා දුන්නොත්, අපි ආයෙ අරක මේක ඉල්ලලා කෙඳිරි ගාන්නේ නෑ.

මේ සම්බන්ධයෙන් පදවිය ප්‍රාදේශීය සභාවේ ලේකම් තරංග රුවන් කුමාර මහතාගෙන් අප දුරකතනයෙන් කළ විමසුමකට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

ඔය ගමට සුසාන භූමියක් නෑ කියන කතාව ඇත්තක්. මේ ගම ඉතාම පැරණි ගමක්. මුලින්ම මේ ගමේ ජීවත් වුණු ගම්වැසියන්ට වුවමනාව තිබිලා තියෙන්නේ ඉඩකඩම් අල්ලා ගන්න විතරයි. ගමේ පොදු අවශ්‍යතාවයන් ගැන ඔවුන් හිතලා නෑ. ඒක නිසා තමයි ඔවුන්ට සුසාන භූමියකට ඉඩමක් නැති වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු සුසාන භූමියක අවශ්‍යතාවය ගැන නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලීම් කරලා නැහැ. කොහොම වුණත් ප්‍රාදේශීය ලේකම්තුමා එක්ක මේ ගැන සාකච්ඡා කරලා නාවා ගස්වැව ගමට සුසාන භූමියක් රක්ෂිතයෙන් හෝ වෙන් කරලා දීමට හැකියාව ඇතිදැයි සොයා බලනවා.

මිහිපිට උපන් ඕනෑම සත්වයකුට මරණයෙන් පසු මහපොළොවේ වැළලෙන්නට සතර රියන් බිම්කඩක් උරුම වී ඇත. එහෙත්, නාවාගස්වැව ගමේ ජීවත්වන තමන්ට ඒ අවසන් උරුමයත් අහිමි වී තිබීමට වගකිවයුත්තේ කවුරුන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

කැබිතිගොල්ලෑව විශේෂ – හේමන්ත රණසූරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT