අරගලකරුවන්ට පහරදීමෙන් අනතුරුව ගිනි තැබීම්වලට ලක්වූ හිටපු මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවා ඇත්තේ නිසි ක්‍රමවේදයකට පටහැණිව බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිවිල් පුරවැසියන් පිරිසක් විසින් ඊයේ (11) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
මහා භාණ්ඩාගාරය මඟින් නිදහස් කරන ලද රුපියල් කෝටි ගණනිත් යුත් එම මුදල් මෙරට මහජනතාවට අයත් මුදල් බවත් ඒවා පොදු දේපොළ බවත් පවසමින් නැවත එම මුදල් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
“හිටපු මැති ඇමැතිවරුන්ට කෝටි ගණනින්, මිලියන ගණනින් දේපොළ තිබෙනවා. පූර්ණකාලීනව දේශපාලනයේ නියැළී සිටි ඔවුන්ට එතරම් වත්කමක් ලබා ගැනීමට ඉහළ වැටුපක් ලැබුණේ නැහැ. එසේ නම් මේ තරම් ධනයක් උපයාගනු ලැබුවේ කෙසේද? යන ගැටලුව අපිට තිබෙනවා.“යැයි පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එච්.එම්.එස්.පී. මැදිවත්ත මහතා කියා සිටියේය.
“ඔවුන් මේ ධනය උපයාගනු ලැබුවේ කෙසේද?, වන්දි තක්සේරු කළේ කෙසේ ද? යන්න පිළිබඳ වහාම විමර්ශනයක් කර මේ දූෂිතයන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙමින් මෙම නැවත අය කරගත යුතුයි. එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත අය කර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා“ යැයි ද ඔහු පැවසීය.
නීතිඥ සම්පත් යාලේවත්ත, සරත් ලාල් පෙරේරා සහ එච්.ම්.එස්.බී. මැදිවත්ත යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
සුභාෂිණී සේනානායක, තරුෂි අධිකාරි