‘දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැතිනම්
ඉක්මනින්ම මාරු වෙන්න…’
පෙර පාසල් ළමයින්ට මාර්ග නීති කියා දෙන්නේ එලෙස ය. එලෙස, ආරක්ෂිතව මහමඟ ගමන් කිරීම පිළිබඳ අවබෝධයක් අත්කර දීම පෙර පාසල් අවධියේ සිටම සිදු කෙරෙන්නකි. එනයින්, ඉහත කවිය මෙරට මාර්ග නීති පිළිබඳ කියාදීමට භාවිත කළ දෙයක් මිස, දේශපාලනයේ ‘වම-දකුණ’ පිළිබඳ හඟවන්නක් නොවේ!
දිනෙන් දින මහමඟ සිදු වන අනතුරුවලින් වන මරණ පිළිබඳ කතාව නිසා මහ පාරේ ජීවිත සුරක්ෂිතතාවක් තිබේ ද යන්න ගැටලුවකි. ඒ තරමටම, මාරාන්තික රිය අනතුරු පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා නිතර නිතර අසන්නට, දකින්නට ලැබේ.
‘වේගය මරුවා කැඳවයි’ යන්න ජනප්‍රිය කියමනකි. එය රථවාහන විෂයයෙහි පමණක් නොව, කවර ක්ෂේත්‍රයක හෝ අති ධාවනකාරී ගමනක නිරත වන ඕනෑම අයකුට අදාළ කාරණයකි.
පොලිස් රථවාහන කොට්ඨාසය සඳහන් කරන පරිදි, ගෙවුණු වසර පහ තුළ රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත 12,140ක් රටට අහිමි වී තිබේ. මේ රටට අහිමි වන්නේ සත්තකින්ම ජීවත් විය යුතු මිනිස්සු ය. නොසැලකිලිමත්භාවය නිසා මේ ජීවිත අහිමි වූ බව සත්‍ය කාරණයකි. රථවාහන අනතුරු නිසා සිදු වන මිනිස් ජීවිත අහිමි වීමෙන් රටේ ආර්ථිකයට සිදු වන බලපෑම අතිමහත් ය. එමෙන්ම සෞඛ්‍ය සේවයේ වැඩි මුදල් ප්‍රමාණයක් ද මේ සඳහා වැය කිරීමට සිදු වේ. රිය අනතුරු නිසා ජීවිත අහිමි වන්නන් පමණක් නොව, සදාකාලික ආබාධිත බවට පත්වන්නන් ද මේ ගණනය කිරීම්වලට ඇතුළත් විය යුතු ය.
මහමඟ සිදු වන රිය අනතුරුවල වැඩි දායකත්වයක් ලැබුණේ පෞද්ගලික බස් රථවලිනි. එකකු පරදවමින් අනෙකා ජයග්‍රහණය කිරීමට යන මහපාරේ තරගයේදී අනෙකාගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකරන බවක් හැඟේ. නිරන්තරව සිදු වන මහ පාරේ අනතුරුවලින් පසු, ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීම හෝ ඔවුන්ට දඩ, වන්දි නියම කිරීම හෝ පමණක් ප්‍රමාණවත් නොවේ. මේ සඳහා නිශ්චිත ක්‍රමවේද සකස් විය යුතු ය.
එහි පළමුවැන්න රියැදුරු විනයයි. එමෙන්ම බස් රථ මහ පාරේ තරගයක නිරත වන්නේ නම්, එයට හේතුව කවරක් දැයි සොයා බැලිය යුතු ය. මගී ජීවිත සමඟ සෙල්ලම් කරන මේ ක්‍රමවේදයට කවර දා හෝ තිත තැබිය යුතු ය. එය මහ පාරේ ත්‍රස්තවාදය ලෙස හැඳින්වූයේ මේ හේතුවෙනි.
මාර්ග ආරක්ෂාව කළමනාකරණය, ඒ පිළිබඳ ක්‍රියාකාරි සැලසුම් නිර්මාණය කිරීම, කැමරා පද්ධති ස්ථාපිත කිරීම, තවත් විවිධ පර්යේෂණ සිදු කිරීම යනාදී ක්‍රමවේද රාශියක් මීට පෙර සකස් වී ඇති බව අපි දනිමු. එහෙත් ඒවා කෙතරම්දුරට ප්‍රායෝගික ද යන්න වර්තමානයේදී ප්‍රශ්න කළ යුතුව ඇත.
දඩ ගැසීමෙන් හෝ වැරදිකරුවන් අල්ලා හිරේ දැමීමෙන් හෝ පමණක් මහපාරේ ත්‍රස්තවාදය මුළුමනින්ම වැළැක්විය නොහැකි වනු ඇත. රියැදුරන්ට මෙන්ම පදිකයන්ට ද මාර්ගස්ථ විනය පිළිබඳ ආකල්ප සමාජගත කිරීමක් සිදු කළ යුතු ය.
මීට පෙර දිනපතා මරණ පිළිබඳ අසන්නට ලැබුණේ යුද්ධය හේතුවෙනි. යුද්ධයට පමණක් දෙවැනි වූ මරණ සංඛ්‍යාවක් රිය අනතුරු නිසා සිදු වන බව අසන්නට ලැබේ.
කවර තත්ත්වයක් යටතේ හෝ ප්‍රවාහන පද්ධතිය යනු ප්‍රතික්ෂේප කළ නොහැකි සේවාවකි. සිදු විය යුත්තේ එය කිසියම් විනය රීතියක්, රාමුවක් යටතට ගෙනඒමයි. ඒ සඳහා, පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් අලුතින් නීති සම්පාදනය සිදු කළ යුතු ය. එහිදී අප රටේ ආදර්ශ ප්‍රමාණවත් නොවන්නේ නම් දියුණු රටවල ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේද කවරේ දැයි සොයා බැලිය යුතු ය. නිශ්චිත විධිමත් මාර්ග පද්ධතියක් මෙන්ම ප්‍රවාහන සේවාවක් ද රටකට අත්‍යවශ්‍ය බව යළි යළි අවධාරණය කළ යුතු නැත. මේ නිසා ජාතික සංවර්ධන සැලසුමකදී ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සැකසීම අත්‍යවශ්‍ය කාරණයකි.
පොදු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන, ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සමස්තයක් ලෙස සපුරාලන, ආරක්ෂාකාරී, විධිමත්, කාර්යක්ෂම, විශ්වසනීය ප්‍රවාහන සේවයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතු ය. එසේ නොවුණහොත්, මහමඟ ත්‍රස්තවාදය විසින් පීඩිත පන්තියේ අහිංසක ජනතාවගේ ජීවිත තව තවත් බිලි ගනු ඇත.
පෞද්ගලික ගමන් බිමන් යෑමට බස් රථවලට ගොඩවන අහිංසක මිනිසුන් කනත්තට රැගෙන යන මහ පාරේ ත්‍රස්තවාදය පරාජය කළ යුතුව ඇත.
එය කඩිනම් ජාතික අවශ්‍යතාවකි.