Sunday, May 11, 2025
Home » ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය අත්හිටුවයි
ගාසා සටන් විරාම ගිවිසුම වැට උඩ

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය අත්හිටුවයි

-ඕනෑම තත්ත්වයකට සූදානම් බව ඊශ්‍රායලයත් කියයි

by sachintha
February 12, 2025 1:04 am 0 comment

සටන් විරාම ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව ඊශ්‍රායලය කටයුතු නොකළ බවට චෝදනා කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවූ බවට නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ ගාසා තීරයේ යළි යුද ගැටුම් ආරම්භ වීමේ අවදානමක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවතැන් වූ පලස්තීනුවන් නැවත උතුරු ගාසා තීරයට පැමිණීම ප්‍රමාද වී ඇතැයිද, සටන් විරාම ගිවිසුමෙහි කොන්දේසි පරිදි ගාසා තීරයට දෛනිකව පැමිණිය යුතු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ අවම වීම ඇතුළු සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මේ තීරණය ගත් බව ද හමාස් සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර හමාස් සංවිධානයේ තීරණය හෙළා දකිමින් ඊශ්‍රායල රජය ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි ද, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සීරුවෙන් තැබීමට එරට ආරක්ෂක ඇමැති ඉස්රායිල් කාට්ස් උපදෙස් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය ජනවාරි මස මැදභාගයේදී ආරම්භ වූ සටන් විරාම ගිවිසුමේ සති 6ක පළමු අදියර යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය බැඳී සිටින අතර, එම කාලය ඇතුළත පලස්තීන යුද සිරකරුවන් 1,900ක් නිදහස් කිරීමට ඊශ්‍රායල රජය එකඟ වී තිබිණි. මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 17 දෙනකු නිදහස් කර ඇති බවත්, පලස්තීන යුද සිරකරුවන් 566 දෙනකු ඊශ්‍රායලයේ සිට නැවත ගාසා තීරයට පැමිණ ඇති බවත් වාර්තා වේ. සටන් විරාම ගිවිසුමට අනුව මීළඟ සිරකරු හුවමාරුව ලබන 15 වැනිදා සිදු කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT