Sunday, May 11, 2025
Home » දේපළ හානි වන්දි ගත් නගර සභා හා ප්‍ර.සභා මන්ත්‍රී ලේඛනයක්

දේපළ හානි වන්දි ගත් නගර සභා හා ප්‍ර.සභා මන්ත්‍රී ලේඛනයක්

by sachintha
February 12, 2025 12:49 am 0 comment

 

අරගල සමයේ දේපොළ හානි වී වන්දි ලබාගත් නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හානියට පත් නිවාස සහ දේපළවලට තක්සේරු කිරීම සඳහා ඊට අදාළ වන ප්‍රදේශවල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු සහ තක්සේරුකරුවන් කණ්ඩායම එවකට ආණ්ඩු පක්ෂයේ සංවිධායක ධුරය දැරූ ප්‍රසන්න රණතුංග මහතා විසින් 2022-11-15 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණ බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කාගේ හෝ චංචල හෝ නිශ්චල දේපළක් හානියට පත් වූ පසු හානියට පත් පාර්ශ්වයට තක්සේරුකරුවන් තමන් ළඟට කැඳවලා උපදෙස් ලබාදීමට නොහැකි බව ද නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

තක්සේරුව සහ වන්දි ලබාදීම පිළිබඳ රජයෙන් විමර්ශනයක් කර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ රටේ මෙවැනි හානියක් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් නිශ්චිතව සඳහන්ව තිබුණේ නැහැ. ස්වාභාවික ආපදාවකින් විපතට පත් වූවකුගේ හානි පූරණය සඳහා පූර්ණ වශයෙන් වන්දි ලබා දී තිබුණෙත් රුපියල් ලක්ෂ 25ක් පමණයි. නමුත් මේ සිද්ධියෙන් පසුව වන්දි ලබාගන්න අය ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමැතිවරු නිසා ඔවුන් තමන්ගේ බලය පාවිච්චි කරලා තක්සේරුකරුවන් සහ මීට තොරතුරු සපයන අය පාර්ලිමේන්තුවට කැඳවලා තිබුණා. එම ලිපිය ඒ කාලේම මාධ්‍යවලත් ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා. සමහර ප්‍රාදේශීය ලේකම්වරු ඒ කාලෙත් කියලා තිබුණා තමන්ට වැඩියෙන් තක්සේරු කිරීම සඳහා බලපෑම් එල්ල වුණයි කියලා. ඒ අනුව තක්සේරු කරලා ගෙවීම් කරන ලද වන්දිවල ලේඛනයක් තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ නවසිය අසූව දක්වා වන විශාල පරාසයක වන්දි ගෙවීම් කරලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු ඇතුළු 43 දෙනෙක්ට එම මුදල් ලබාදී තිබුණා. වන්දි ලබා ගැනීම ගැන සමාජයේ කතා බහක් තිබෙනවා. ඒ තක්සේරුව සම්බන්ධයෙනුත් ආන්දෝලනයක් පවතිනවා. විමර්ශන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා විවිධ ආයතනවලින්. අල්ලස් කොමිසමත් විමර්ශනයක් ආරම්භ කරාවි. රජයත් බලාපොරොත්තු වෙනවා මේ තක්සේරුව සහ වන්දි ලබාදීම පිළිබඳව විමර්ශන කටයුතු කරන්න.

අපිට පුළුවන්කම ලැබේවි ඉතා ඉක්මනට මේ වන්දි තක්සේරුව පිළිබඳව සම්පූර්ණ වතාවක් ඉදිරිපත් කරන්න. රුපියල් 700 – 800 කිව්වට එක් එක් අයිතමයන්ට කොතරම් වන්දියක් තක්සේරු කළාද කියන එක දැනගන්න පුළුවන්.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT