Sunday, May 11, 2025
Home » රට පුරා ළැව් ගිනි තත්ත්වයක් නෑ

රට පුරා ළැව් ගිනි තත්ත්වයක් නෑ

-වන සංරක්ෂක ජනරාල්

by sachintha
February 12, 2025 12:50 am 0 comment

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ස්ථාන තුනක ගිනි ඇවිළීම් සිදුව තිබුණත් රටපුරා ළැව් ගිනි තත්ත්වයක් නිර්මාණයව නැති බව වන සංරක්ෂක ජනරාල් ඊ.එන්.පී.එන්. එදිරිසිංහ මහතා පවසයි.

මෙම ස්ථාන තුනෙහිම ඇතිවූ ගිනි ඇවිළීම් මිනිසුන් විසින් සිදු කරන ලද ගිනි තැබීම් බව ද ඔහු පැවසීය.

එබැවින් වනාන්තර අසල ගිනි තැබීමෙන් වළකින ලෙසද වන සංරක්ෂක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෑම වසරකම වියළි කාලයේදී වනාන්තර ආශ්‍රිතව පවතින තෘණභූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවද වන සංරක්ෂක ජනරාල් ඊ.එන්.පී.එන්. එදිරිසිංහ මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ෆයිනස් වගාවක් ආශ්‍රිතව අක්කර 20ක පමණ පෙරේදා (10) ගින්නක් ඇතිවූ බවද ඒ මහතා පැවසීය. එම වගාබිමේ බිම ස්තරයේ තිබූ කොළ සහ තෘණ මෙලෙස ගිනිගෙන ඇති අතර, ගස්වලට හානියක් සිදුවී නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කඩිනමින් වන සංරක්ෂණ නිලධාරින් එම ප්‍රදේශයට ගොස් ගින්න නිවා දැමීම සඳහා ප්‍රදේශවාසීන්ගෙන් සහාය ඉල්ලා ඇතත් ප්‍රමාණවත් සහයක් ලබාදී නොමැති බවද හෙතෙම අනාවරණය කළේය. ඒ අනුව යුද හමුදාව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඊයේ (11) උදෑසන වන විට ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගාවකද ගින්නක් ඇතිවූ අතර එම ගින්නෙන් අක්කර පහක ෆයිනස් වගාවේ යටි රෝපණ වගාව සහ වැටී තිබූ කොළ ගිනි ගෙන ඇති බවද ඒ මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැවිලි සමාගමක් සතු තෘණ භූමියක හා වන වගාවක ගින්නක් ඇතිවූ අතර එය නිවා දැමීමට එම සමාගම කටයුතු කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.

එසේ නොමැතිව ඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට රට වටා ළැව් ගිනි තත්ත්වයක් නිර්මාණය වී නැති අතර, මෙම සියලු ගිනි ගැනීම් මිනිසුන් විසින් ඇතිකළ ඒවා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි ගිනි ගැනීම් සෑම වසරකම පාහේ සිදු වන අතර, 2024 වසරේදී හෙක්ටයාර් 437.9ක් ගිනි ගැනීමට ලක්ව ඇති බවද ඒ මහතා පැවසීය. මෙවැනි ආකාරයට බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොනරාගල, කෑගල්ල ආදී දිස්ත්‍රික්කවල ගිනි ගැනීම් ඇති වන බවද වැඩිදුරටත් පැවසීය.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT