වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට රුපියල් බිලියන 19 ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී ගොවීන් එකොළොස් ලක්ෂ හැත්තෑපන්දහස් පන්සිය තිස්හය දෙනකුට හිමිවී ඇත. වගාකෙරෙන කුඹුරු හෙක්ටයාර ප්‍රමාණය 758,923කි.
පොහොර සහනාධාරය සඳහා මහා භාණ්ඩාගාරයෙන් ඊයේ ද (11) රුපියල් කෝටි 12.75ක් ලැබී තිබූ අතර එම මුදල් ගොවීන් 13,530කගේ කුඹුරු බිම් හෙක්ටයාර 5116කට ගෙවීමට නියමිතව තිබිණි.
මෙම පොහොර සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභීන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ලබාදී ඇති මුදල රුපියල් කෝටි 312.5කි. වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 125,040කි. ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 142,053කි. දෙවැනි ස්ථානයට වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාව වාර්තාවනුයේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. ලබාදී ඇති මුදල රුපියල් කෝටි 203.2 කි. ගොවීන් 79,145 දෙනකුගේ හෙක්ටයාර 81,313ක් වෙනුවෙන් මෙම පොහොර සහනාධාරය හිමිවී ඇත. තෙවැනියට වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් වන ගොවීන් 162,350ක් සඳහා රුපියල් කෝටි 191.9ක මුදලක් වෙන් වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. වගා කෙරෙන හෙක්ටයාර ප්‍රමාණය 76,771 කි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 69,275 දෙනකුගේ කුඹුරු බිම් හෙක්ටයාර 67,763ක් සඳහා පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 169.4ක් ලබාදී තිබේ.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ .බී.රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රජය වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000 පොහොර සහනාධාරය තවත් ලබාදීමට ඇත්තේ 1%ක පමණ ගොවීන් ප්‍රමාණයකට පමණක් බවයි. එම ගොවීන් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වන බව ද රාජපක්ෂ මහතා කියයි.
පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැයකරන මුළු මුදල රුපියල් බිලියන 20කි.
බුද්ධිකා ඉඹුලාන