Home » රාජකාරි ගිනි අවිය අස්ථානගත කර ඩුබායි පැන්න කොස්තාපල්ට බඩෝවිට අසංකගේ පිහිට ලැබිලා

රාජකාරි ගිනි අවිය අස්ථානගත කර ඩුබායි පැන්න කොස්තාපල්ට බඩෝවිට අසංකගේ පිහිට ලැබිලා

by sachintha
February 12, 2025 12:51 am 0 comment

සිය රාජකාරි ගිනි අවිය (ටී 56) අස්ථානගත කරමින් රටින් පලාගිය ගල්කිස්ස පොලිසියේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඩුබායි හි රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංකගේ රැකවරණය ලබමින් සිටින බවට සැකකරන තොරතුරු රැසක් බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මෑත කාලයේදී ගල්කිස්ස සහ කොහුවල ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් රැසකටම නම කියැවුණේ බඩෝවිට අසංකගේය.

මෙසේ රටින් පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මිතුරාවන පොලිස් කොස්තාපල්වරයෙකුද ගල්කිස්ස පොලීසිය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබුණි. ගිනි අවිය රැගෙන පලායෑමට මෙම කොස්තාපල්වරයා ආධාර හා අනුබලදී කුමන්ත්‍රණය කර ඇතැයි පොලීසිය සැකකරයි. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාද ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින්නෙකි. ඔහුව රැඳවුම් නියෝගයකින් රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

මේ හැරුණු කොට පලාගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ පියා ගල්කිස්සෙන් අනුරාධපුර මහවිලච්චියට ගිය පොලිස් කණ්ඩායමක් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සිය පොලිස් පුතා රටින් පලා යන බව ඔවුන් දෙදෙනා දැන සිටියේ දැයි විමර්ශනයට ලක්වන බවද එම නිලධාරියා කීය.

රටින් පලාගිය සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් පරිහරණය කරන ලද යතුරුපැදිය, ඔහුගේ නිල ඇඳුම තනිකඩ භට නිවාසය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොස්තාපල්වරයා රටින් පලායන්නේ පසුගිය 08 වැනිදා රාත්‍රී කාලයේදීය. මෙතෙක් ගිනි අවියට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඔහු සිය පෙම්වතිය වන රාත්‍රී සමාජ ශාලාවක සේවයේ නිරතව සිටින විවාහක කාන්තාවක්ද එදින රාත්‍රී කාලයේ හමුවී ඇත. අත්තිඩියේ කුලී නි‍ෙවසක රැඳී සිටින එම කාන්තාවගේ නිවස ඉදිරිපිට යතුරුපැදිය තබා ඔහු කුලී මෝටර් රථයක නැඟී ගුවන්තොටුපොළට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එම යතුරුපැදිය පොලිස් බැරක්කය වෙත රැගෙනවිත් ඇත්තේ පෙරේදා (10) අත්අඩංගුවටගත් කොස්තාපල්වරයාය. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එම යතුරුපැදිය පොලිස් බැරක්කයට ගෙන එන ලෙස පලාගිය කොස්තාපල්වරයා පැවසූ බව සැකාකර කොස්තාපල්වරයා පවසා තිබේ. දුරකතන ජාල විමර්ශනයකදී හෙළිවී ඇත්තේ මෙම කොස්තාපල්වරු දෙදෙනා අතර එදින අසාමාන්‍ය ලෙස දුරකතන ඇමතුම් හුවමාරුවී ඇති බවය.

ඩුබායි රාජ්‍යයට පලාගිය කොස්තාපල්වරයා පාතාල සාමාජිකයකු සහ මත්ද්‍රව්‍යජාවාරම්කරුවකු වන ‘අයි ඩී’ නමැති ජාවාරම්කරු සහ ඔහුගේ සමීපතමයන් සමග whatsApp තාක්ෂණය ඔස්සේ සබඳතා පවත්වා ඇතැයි ද අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

ඩුබායි රාජ්‍යයට පලාගිය කොස්තාපල්වරයා මෝටර් රථයක් පවා මිලදීගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වන විට ඔහුගේ හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර දුරකතන දත්ත වාර්තා ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින අතර මේ වන විට එක් සමාගමකින් පමණක් එම වාර්තා ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ ප්‍රසන්න බ්‍රාහ්මණ පොලිස් අධිකාරි රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

ගයාන් කුමාර වීරසිංහ සහ

බණ්ඩාරගම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT