ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසයන් අපහාසයට ලක්කරන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේය යන චෝදනාවට වරදකරුව ලිහිල් සිරදඬුවමක් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දී ඇති දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධිත පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම මස 25 වැනිදා දක්වා කොළඹ මහාධිකරණය කල් ලබා දෙන ලදි.
කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඉදිරියේ ඊයේ (11) නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා නඩුව වෙනත් දිනයක විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටින ලදි.
එම අවස්ථාවේදී රජයේ අධිනීතිඥවරයා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් විරෝධතා ඉදිරිපත් කිරීමට දිනයක් ඉල්ලා සිටින ලදි.
2016 වසරේ නොවැම්බර් මස 01 වැනි දා සහ එම වසරේ දෙසැම්බර් මස 11 වැනි දා අතර කාලසීමාව තුළදී කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තිය යටතේ ගැනෙන වරදක් සිදු කළේ යැයි චෝදනාකොට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා පත්‍ර ගොනු කිරීම කළේය.
එම චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා ලිහිල් වැඩ සහිතව මාස 9ක ලිහිල් සිරදඬුවම් නියම කළේය. එම දඬුවමෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.
චන්දන ජයවීර