ජපන් රජයෙන් ජයිකා ආයතනයේ සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර මහ කනදරාව ප්‍රදේශයේ ඉදිකෙරුණු අනුරාධපුර උතුරු පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජපාන තානාපති අකියෝ ඉසෝමෝටා මහතා පෙරේදා (10) එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම නිරීක්ෂණ චාරිකාවට ඒ මහතා සමඟ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, අනුරාධපුර මහ දිසාපති රංජිත් විමලසූරිය, ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදත් රත්නායක, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර යන මහත්වරුද සහභාගි වූ අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේය. මෙහි මූලික අරමුණ වන්නේ වකුගඩු රෝගය බහුලව ඇතැයි හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසුදු ජලය සැපයීමයි.
ඒ අනුව පළමු අදියරේ දී රඹෑව, මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එක්ලක්ෂ පහළොස්දහස් හයසීයක පිරිසකට පිරිසුදු ජලය සැපයීම සිදු කෙරෙනු ඇත. ව්‍යාපෘතිය සඳහා ජපන් රජයෙන් ජපන් යෙන් මිලියන 5,166ක් හා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 2,789ක් වැය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර රත්නායක මහතා, ජපන් තාක්ෂණය පදනම් කරගෙන විධිමත් කෘෂිකාර්මික ක්‍රියාවලියක් පවත්වාගෙන යෑම සඳහා ඉදිරියේදී මහකනදරාව ජලාශයේ ඇළ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට ජපන් රජයට සහාය විය හැකි නම් එය ඉතා වටිනා කටයුත්තක් බව පැවසීය.
ජපන් තානාපති අකියෝ ඉසොමොටා, අනුරාධපුර මහ දිසාපති කේ.ජී. රංජිත් විමලසූරිය, අධ්‍යක්ෂ සුදත් රත්නායක යන මහත්වරුන් ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතවරුන්, ව්‍යාපෘතිය භාර නිලධාරීන්, මහකනදරාව ගොවි සංවිධාන නියෝජිතවරුන් හා ජල පාරිභෝගික පිරිසක් ද එක්ව සිටියහ.
අනුරාධපුර දිසා විශේෂ – වෝල්ටර් දයාරත්න