Home » දෑස් අඳ ඉංග්‍රීසි ගුරුවරයා පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පාපැදියෙන්

දෑස් අඳ ඉංග්‍රීසි ගුරුවරයා පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පාපැදියෙන්

by sachintha
February 12, 2025 1:26 am 0 comment

යෞවන වියට පත්වෙමින් සිටියදී දෑස් අන්ධභාවයට පත්වුවත් උනන්දුවෙන් අධ්‍යාපනය ලබා උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරයකු බවට පත් වූ සංඛ හසින්ත මහතා දෑස් අඳ පුද්ගලයන්ට උනන්දුව සහ උත්සාහය මත ඕනෑම කාර්යයක් සිදු කළ හැකි බව පෙන්වා දෙමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාපැදියකින් ගමන් කරමින් දින 09ක් තුළ සිය ගමන නිමා කිරීමට සමත් විය.

මාතර සාරිපුත්‍ර මහා විද්‍යාලයේ ගුරුභවතෙකු ලෙස සේවය කරන සංඛ හසින්ත මහතා විවාහක එක්දරු පියෙකි. ඔහුගේ බිරිය ද උපාධිධාරී ගුරුවරියක් ලෙස මාතර මහමායා බාලිකා විද්‍යාලයේ සේවය කරන්නීය.

“පොඩි කාලේ දී මම හොඳට බයිසිකල් පැද්දා. ඒත් මට වයස අවුරුදු දහසයේ දී පෙනීම නැති වුණා. කුඩා කාලයේ සාමාන්‍ය අයුරින් හොඳට ඇස් පෙනුණා. 2002 වසරේ සිට තමයි ඇස් පෙනීම අඩු වුණේ. මුලින්ම රාත්‍රියට පෙනීම නැති වුණා. පසුව එය දවල් කාලයටත් නොපෙනෙන තත්ත්වයට පත්වුණා. 2010 වන විට සම්පූර්ණයෙන්ම දෑස් පෙනීම අඩු වුණා. ඒත් මම උත්සාහය අත් නොහැර අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගියා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වාර දෙකක් විභාගය ලියා විශ්වවිද්‍යාලයට යන්න නොහැකි වුණාම නැවත කලා අංශයෙන් ඉගෙන ගෙන උසස් පෙළ විභාගයට පෙනී සිට A 2 යි, B 1 ක් ලබාගනිමින් උසස් පෙළ සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 2015 දී උපාධිය ලබා ගත්තා. ඒ අතර මම ඉංග්‍රීසි විෂයත් විශ්වවිද්‍යාල මට්ටමෙන් හොඳට ඉගෙන ගත්තා. ඒ අනුව තමයි මම ගුරුවරයෙක් වශයෙන් පත්වුණේ. මට අවශ්‍ය වූයේ අන්ධ අයට වුණත් උනන්දුව සහ උත්සාහය තියෙනවා නම් ඕනෑම දෙයක් කළ හැකි බව පෙන්වීමටයි. මම ඒ දේ කළා. උදව් කළ සියලුමදෙනාට මේ අවස්ථාවේ ස්තුති කරනවා” – සංඛ හසින්ත එසේ පැවසුවේය. බදුල්ල මහා විද්‍යාලයෙන් හා තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති හසින්ත තංගල්ල මහා විද්‍යාලයෙන් සහ බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.

සංඛ හසින්ත මීට පෙර මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 160 ප්‍රමාණයක් පාපැදියෙන් ගමන් කර ඇති අතර, ඔහු මෙවර පසුගිය 03 වැනිදා පේදුරුතුඩුවෙන් ගමන් අරඹා දින නවයක් පුරා පාපැදියෙන් ගමන්කොට ඊයේ (11) දෙවුන්දරතුඩුවෙන් සිය ගමන නිම කළේය.

මුළු ගමන පුරාම ඔහුගේ ආරක්ෂකයා මෙන්ම ගමන් මඟ පෙන්වන්නා ලෙස සුගත් පතිරණ කටයුතු කර ඇති අතර, ඊයේ (11) පෙරවරුවේදී සංඛ හසින්ත මාතරට පැමිණි අවස්ථාවේ ඔහු සේවය කරන සාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, දූ දරුවන් හා මවුපියන් එක්ව හරසරින් පිළිගනු ලැබූ අතර, එම පිළිගැනීමෙන් පසු දෙවුන්දරතුඩුව දක්වා ගමන්කොට සිය ගමන නියම කළේය.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT