Saturday, May 10, 2025
Home » වාද්දුව පොලීසියේ හතරකගේ වැඩ තහනම්
අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාම

වාද්දුව පොලීසියේ හතරකගේ වැඩ තහනම්

by sachintha
February 13, 2025 1:41 am 0 comment

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් පහරදීමකින් පසු රෝගී වී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට වාද්දූව පොලීසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් සිවුදෙනකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් කිරීම ඊයේ (12) පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පහරදීමක් මෙන්ම රිය අනතුරකින් සිදුවූ තුවාල සලකුණු ඇති බව අනාවරණය වීම හේතුවෙන් මෙම නිලධාරීන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

වාද්දූව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියකු වූ සමිත දිල්ෂාන් නමැත්තා පෙරේදා (11) පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබිණි.

පසුගියදා (10) පස්වරුවේ වාද්දූව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් විසින් රිය අනතුරක් සම්බන්ධ සිදුවීමකට ඔහුව

අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව පොලිස් ඇප මත මුදාහැර සිටියදී ලේ වමනය දැමීමෙන් පසු පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබිණි.

මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් ඇතුළු ගම්වැසියන් පිරිසක් වාද්දූව පොලිස් ස්ථානය අසලට රැස්වී පෙරේදා (11) රාත්‍රී කාලයේ විරෝධයක ද නිරත වූහ.

එම පිරිස චෝදනා කරන්නට වූයේ පොලිස් පහරදීමකින් සිය ඥාතියා මියගොස් ඇති බවටය.

රැස්ව සිටි 40ක පමණ පිරිසක් නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් අවට පොලිස් ස්ථාන වෙතින් පොලිස් නිලධාරීන් ද කැඳවා ප්‍රධාන පිවිසුම් දොරටුව මුළුමනින්ම අවහිර කරමින් පොලීසියේ ආරක්ෂාවට බැරියර් දමා පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ අවධානයක් යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා විසින් වහාම මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළ බවත් ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එකී විමර්ශන ක්‍රියාත්මක විය.

මියගොස් ඇති තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පානදුර කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර සහ පොලිස් පරීක්ෂක සුරංග රණවීර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වනු ලැබීය.

මෙම නිලධාරීන් වරදක් කර ඇද්ද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීමට කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

තම සැමියා මියගියේ පොලීසිය කළ පහරදීමක් හේතුවෙන් බව කියමින් මියගොස් ඇති තැනැත්තාගේ බිරිය වන රෝෂිනී ලක්මාලි මහත්මිය විසින් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ද කර තිබිණි.

මියගොස් ඇති තැනැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය.

පානදුර සමූහ සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT