Wednesday, March 26, 2025
Home » හොර පාරෙන් ගෙනා මොන්ටෙරෝව සමඟ හිටපු ජනපති ලේකම් දැලේ

හොර පාරෙන් ගෙනා මොන්ටෙරෝව සමඟ හිටපු ජනපති ලේකම් දැලේ

by sachintha
February 13, 2025 1:43 am 0 comment

බදු නොගෙවා නීති විරෝධී ලෙස කන්ටේනරයක සඟවා මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 04ක් පමණ වටිනා සුඛෝපභෝගි මිට්සුබිෂි වර්ගයේ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් භාවිත කරමින් සිටි හිටපු ජනපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කල පුද්ගලයකු පාණදුර වලාන පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත.

හෝටල් සමූහයක අධිපතිවරයකු වන ඔහු පසුගිය මහමැතිවරණයේදී රංගන ශිල්පියකු විසින් නායකත්වය දුන් පක්ෂයකින් මැතිවරණයට ද ඉදිරිපත්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා අවුරුදු 52ක් වයසැති අයකු වන අතර මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළ අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඔහු ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී 2013 වසරේදී අත්තනගල්ලේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගේ නාසය සපා කෑමක් සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

දේශපාලන පක්ෂ කිහිපයකටම පසුගිය කාලයේ සම්බන්ධව කටයුතු කර ඇති මෙම සැකකරු නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ඇතැයි කියැවෙන ජීප් රථය කාලයක් තිස්සේ භාවිත කර ඇතැයි පෙනී යන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම භාවිත කර තිබුණු ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් 2018 වසරේදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සොයාගෙන තිබිණි.

එම අංකයෙන්ම යුත් මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් ද 2019 වසරේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද එකම අංකය සහිත වාහන තුනක් සොයා ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් විසින් මේ වන විට සමත් වී තිබේ.

පෙරේදා (11) සොයාගත් ජීප් රථය ඉතා සූක්‍ෂ්ම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම සැකකරු එසේ රැගෙන ආ ජීප් රථය පරිහරණය කර ඇත්තේ මිල දී ගැනීමකින් බව පෙනී යන බව ද උසස් පොලිස් නිලධාරියා කීය. එහෙත් ඔහු මෙම රථය මිල දී ගෙන පරිහරණය කර ඇත්තේ හොර පාරෙන් රැගෙනවිත් ඇතැයි දැනගෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙසේ හොර පාරෙන් ලංකාවට ගෙන්වනු ලබන වාහන, සංවිධානාත්මකව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූට ලේඛන සකස් කර පරිගණක දත්ත වෙනස් කරමින් කටයුතු කිරීමෙන් රජයට අය විය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි වීමක් සිදු වී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රජා පොලිස් පරීක්ෂක නිශ්ශංක, පොලිස් සැරයන්වරුන් වන (428) ජයලාල්, (36136) සමරකෝන්, පොලිස් කොස්තාපල්වරුන් වන (84889) උදය කුමාර, (94009) සියන්ත, (98868) කෞෂිත, (100683) හේමන්ත, (104678) කුමාර, පොලිස් කොස්තාපල් රියැදුරු (105577) රත්නායක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

තරුෂි අධිකාරි, පානදුර සමූහ – සුමිත් ප්‍රේමතිලක

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT