Home » මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්

මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්

by chanaka
February 13, 2025 4:20 pm 0 comment

දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ පසුගියදා මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි.

ඒ අනුවමහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසිමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex)යන ව්‍යාපෘතිසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු විධිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ලැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත් ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරාගත නොහැකි ඉදිකිරීම් වී ඇති බවත්, මෙලෙස අවිධිමත් කටයුතු ආරම්භ කර තිබීම රජයටත්, සෞඛ්‍ය සේවාවටත්, රටටත් විශාල බරක් බවට පත්ව තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වුව ද, ව්‍යාපෘති ආරම්භ කර තිබීම හේතුවෙන් එහි නිමාවක් දැකිය යුතු බවත් එබැවින් සිදු කරමින් පවතින ඉදිකිරීම් කටයුතු යම්තාක් මට්ටමකට හෝ අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය. මහනුවර ජාතික රෝහල සඳහා සකස් කර ඇති සැලැස්මට අනුව අවශ්‍ය කරන අනෙකුත් මුදල් ප්‍රතිපාදන ක්‍රමණුකූලව ඉදිරියේ දී වෙන් කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

ලංකාවේ දැනට ස්ථාපිත ජාතික රෝහල් 03 ට අමතරව අනාගතයේ තවත් එක් ජාතික රෝහලක් ප්‍රමාණවත් වනු ඇති බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ජාතික රෝහලකට අවශ්‍ය ජනගහනය හා භූගෝලීය පිහිටීම සලකා ඉදිරියේ දී ඒ පිළිබඳ තීරණ ගන්නා බව පැවසී ය. ජාතික රෝහල් සංවර්ධනය කිරීමේ දී බාහිර රෝගී අංශවල සහ සායනවල තදබදය වර්තමානයේ දැරිය නොහැකි මට්ටමකට පවතින බවත් එම තත්ත්වය අවම කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය කරමින් ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් සකස් කර ජාතික රෝහල්වලට අවශ්‍ය කරන විශේෂිත ඒකකවල පහසුකම් උපරිමයෙන් ‍ඉහළ නැංවීමට රජය සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මහරගම අපේක්ෂා රෝහලට පසුව මෙරට ඉදිවන දෙවන විශාලතම පිළිකා වාට්ටු සංකීර්ණය මහනුවර මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය බවත්, මහල් 09 කින් යුත්එම නව පිළිකා වාට්ටු සංකීර්ණයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කර පිළිකා රෝග සායනයක් සහ වාට්ටු 02 ක් මේ වසරේ ආරම්භ කිරිමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදි.

රෝහල් පරීශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදී. එහි දී, රෝගී ඇඳන් 2741 ක්, වාට්ටු 75 ක්, සායන 52 ක ක්‍රියාකාරීත්වයෙන් යුතු මහනුවර ජාතික රෝහලට දිනකට පැමිණෙන බාහිර රෝගීන් 4000 ක් පමණ පිරිසට අවශ්‍ය සේවා සැපයීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී.

රෝහල තුළ පවතින තදබදය අවම කර ගැනීම සදහා බාහිර රෝගී අංශය සහ සායන ස්ථානගත කිරීම පිළිබඳ ව මෙහි දී දැඩිව සලකා බලනු ලැබී ය. එමෙන් ම, හෘද ශල්‍ය සැත්කම් සදහා පොරොත්තු ලේඛන ඉහළයාම, රෝහල තුළ වාහන තදබදය අවම කර ගැනීම සදහා වාහන නැවතුම්පළක අවශ්‍යතාවය, අනවසරයෙන් අත්පත් කරගෙන ඇති රෝහල සතු ඉඩම් පවරා ගැනීමට කටයුතු කිරීම, විශේෂඥ, වෛද්‍ය සහ හෙද ඇතුළු කාර්යමණ්ඩල හිඟය ආදී ගැටළු පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කරන ලද අතර එම සියලු ගැටළු විධිමත් ව නිරාකරණය සඳහා කඩිනමින් විධිමත් සැලස්මක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) සහ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ එච්.එම් අර්ජුන තිලකරත්න,කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ සහ මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විඡේසිංහ, මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT